28032024Thu
Last update:Mon, 04 Mar 2024

20 සම්මත කර මැතිවරණයක්

මෙවර ඡන්දය පවතින ක්‍රමයට
පළාත් පාලනය කොමසාරිස් යටතට එජාපය අවධාරණය කරයි

විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව මහ මැතිවරණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. දැනට පවතින මැතිවරණ ක්‍රමයට මහ මැතිවරණය පවත්වන අතර ඉදිරි කාලයේදි එන මැතිවරණ විසි වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ ක්‍රමයට පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා කීය.

ජන මතය නියෝජනය වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය විය යුතු නිසා මහ මැතිවරණයක අවශ්‍යතාව දැඩිව දැනෙන බවත් ඒ අනුව හැකි ඉක්මණින් මහ මැතිවරණයක් එජාපය අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවැසුවේය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (04) පැවැසුවේය.

එජාපයට පාර්ලිමේන්තුවේ හිමි වනුයේ සුළුතර බලයක් යැයි චෝදනා කරන විටදී මෙවර මැයි රැළියෙන් ඔප්පු වූයේ බහුතර ජන බලයක් එජාපයට හිමි බවත් එම බහුතර ජනවරම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නම් මහ මැතිවරණයක අවශ්‍යතාව පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය තව ටික කාලයක් ප්‍රමාද විය හැකි නිසා පළාත් පාලන බලය කොමසාරිස් පාලනයකට යොමු කිරීමේ ඉඩක් පවතින බව ද හෙතෙම පැවැසීය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කරන බවත් ඉදිරි දින දහයක පමණ කාලය තුළදී විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් තීරණයකට එළඹෙනු ඇති බවත් ඔහු පැවැසුවේය.

දින සියයේ වැඩපිළිවෙළ යටතේ මැතිවරණයක් පැවැත්වීම සිදු කළ යුතු අතර පසුගිය අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අපේක්ෂා කළ ද විවිධ වෙනස්කම් හේතුවෙන් එය කළ නොහැකි වූ බව ද හෙතෙම මෙහදී මතක් කළේය.

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සුළුතර පක්ෂ විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාවන් සියල්ල සැලකිල්ලට ගෙන විසි වැනි සංශෝධනය සිදු වනු ඇති බවත් ඔහු පැවැසුවේය.