25042024Thu
Last update:Thu, 18 Apr 2024

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.1% දක්වා පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව

යහපත් ආර්ථික වර්ධනයක් ළඟා‍ කරගනිමින් ලෝකයේ මධ්‍ය මට්ටමේ ආදායම් රටක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 2.1 දක්වා පහත වැටී ති‍බෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ජන‍ලේඛන හා සංඛ්‍යාලේඛන ‍දෙපාර්ත‍මේන්තුව විසින් ගණනය කරනු ලබන ‍කොළඹ පාරි‍භෝගික මිල දර්ශක‍යේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මේ වසරේ මාර්තු මාසයේ සියයට 2.5ක අගයක් වාර්තාකර තිබෙන අතර එය අ‍ප්‍රේල් මාසය අවසන් වනවිට සියයට 2.1 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

 

මේ අතර ලක්ෂ්‍යමය පදනම මත පසුගිය මාර්තු මාසයේ පැවැති සියයට 0.1 උද්ධමන අගය අ‍ප්‍රේල් මාස‍යේ ද ‍නොවනස්ව ති‍බෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඒ අනුව පසුගිය මාස 74ක කාලය පුරා ශ්‍රී ලංකා‍‍වේ උද්ධමනය තනි අංකයක පවත්වා‍ගෙන යාමට හැකිව ති‍බෙන අතර ‍‍මෙ‍සේ තනි ඉලක්කමක පවත්වාගෙන ගිය දීර්ඝතම කාලපරිච්ඡේදය මෙය බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 1977 වසරේ දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය විසින් විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමෙන් පසු වාර්ෂික සාමාන්‍ය පදනම මත මාස 74ක් සහ ලක්ෂ්‍යමය පදනම මත මාස 68 ක කාලයක් උද්ධමනය අඛණ්ඩව තනි ඉලක්කමක පවත්වාගෙන ගොස් තිබෙන බවද එම බැංකුව පෙන්වා දෙයි.

මේ සඳහා අතිශය වැදගත් කරුණු රැසක් බලපා තිබෙන බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව මාසය තුළ ආහාර නොවන කණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දෙයි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 වස‍රේ ‍මාර්තු මස පැවති සියයට 1.4 හි සිට අප්‍රේල් මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගි‍යේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2015 වස‍රේ ‍මාර්තු මස වාර්තා කළ සියයට 3.0 සමඟ සසඳන විට 2015 අප්‍රේල් මාසයේ දී සියයට 2.9 ක් දක්වා පහළ වැටිණි.