19042024Fri
Last update:Thu, 18 Apr 2024

19ට කැපවූ සැමට ජනපති තුති පුදයි

9 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්දයෙන් සම්මතවීම ශ්‍රී ලාංකීය ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එය වසර 37ක් තිස්සේ ශ්‍රී ලාංකික සක්‍රීය පුරවැසි සමාජය කළ අරගලය ලත් ජයග්‍රහණයකි.

එම ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් වසර 37ක් මුළුල්ලේ විවිධ අරගල කළ, සාකච්ඡා සම්මන්ත්‍රණ කළ, වාද විවාද කළ, අවසාන වශයෙන් මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම වෙනුවෙන් බලපෑම් කණ්ඩායම් ලෙස ක්‍රියා කළ ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම ආගමික නායකයින් වෙතත් සියලු සක්‍රීය පුරවැසියන් වෙතත්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වෙතත් මෙම ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ වෙතත් ජනාධිපතිවරයා සිය ස්තූතිය ප්‍රකාශ කරයි.

පසුගිය කාලය පුරා ජනාධිපතිවරණ අවස්ථා පහකදීම ඒ සඳහා තරඟ කළ ප්‍රධාන අපේක්ෂකයන් විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට පොරොන්දු ලබා දී තිබුණ ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබූ එකම අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය. එහිදී එම කාර්යය ව්‍යවස්ථානුකූලව ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන්ට අනුකූලව ද, සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් යුතුව ද සිදුකරන්නට ලැබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලැබූ යෝධ පියවරක් ලෙස සැලකිය හැකිය.

1978 ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ දී 13 වන සහ 17 වන සංශෝධනය හැර අනෙක් සියලු සංශෝධන විධායක ජනාධිපති ධුරයේ බලය තව තවත් වර්ධනය කිරීමට ගනු ලැබූ පියවරයන් විය. ඒ අතරින් විශේෂයෙන්ම හදිසි පනතක් ලෙස ගෙන ආ 18 වන සංශෝධනය හරහා 17 වන සංශෝධනය මගින් ගෙන ආ ප්‍රගතිශීලී පියවර සියල්ල ආපස්සට හැරවුණු අතර ජනාධිපති ධුරයේ බලතල අසීමාන්තික ලෙස වර්ධනය කරගත් අවස්ථාවක් ලෙස ද එය සැලකිය හැකිය. මෙම ජයග්‍රහණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ එය අද ජීවත් වන පුරවැසියන් පමණක් නොව අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් ද ලබාගත් ජයග්‍රහණයක් ලෙස තමන් විශ්වාස කරන බව ය.