29032024Fri
Last update:Mon, 04 Mar 2024

ජාතික හැඳුනුම්පත අවුරුදු 15 සිට

sri lanka national identity card ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ වයස් සීමාව අවුරුදු 18 සිට අවුරුදු 15 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 15ක් සම්පූර්ණ වන ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.

එසේම දැනට අවුරුදු 18ට වැඩි සියලුම ජාතික හැඳුනුම්පත් හිමි සියලු පුරවැසියන් දෙපාර්තමේන්තුවේ නැවත ලියාපදිංචි කර පුද්ගලයන් පිළිබඳ ජාතික නාමාවලියක් සකස් කිරීමටද රජය තීරණය කර ඇතැයි මහජන සාමය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

පුද්ගලයින් පිළිබඳ ජාතික නාමාවලිය සකස් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් පිළිබඳ දත්ත රැස්කර පවත්වාගෙන යාමට පියවර ගැනේ. ඒ සඳහා සියලු පුරවැසියන් සිය නම, උපන් දිනය, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය, ලිපිනය, පවුලේ විස්තරය සහ නියම කරනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු වේ.

මෙම නව වෙනස් කිරීම් සඳහා 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධන කිරීමට රජය පියවර ගෙන තිබේ.

නව සංශෝධන වලදී දෙපාර්තමේන්තුව උසස් කර ඇති අතර එහි ප්‍රධානියා වන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා කොමසාරිස් ජෙනරාල් වරයකුගේ මට්ටමට පත් කර තිබේ. දෙපාර්තමේන්තුවට අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයකු ද පත් කෙරේ. එයට අමතරව දෙපාර්තමේන්තුවේ බලය පළාත් දිස්ත්‍රික් ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කෙරේ.