18042024Thu
Last update:Mon, 04 Mar 2024

19 සහ නව මැතිවරණ ක්‍රමය ගැන නව කමිටුවේ සභාපති ජී.එල්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව නව කෙටුම්පතක් සකස් කිරීම සඳහා පත් කළ හත් දෙනකුගෙන් සමන්විත කමිටුවේ සභාපති ධුරය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ලබා දී තිබේ.

19වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ ඉදිරි කටයුතු සඳහා පත් කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සහ අමාත්‍ය එස්. බී. දිසානායක යන මහත්වරුන්ය.

දහනවවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පත සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිබඳව අවධානය යොමු කර පාර්ලිමේන්තු විවාදවලට සහභාගිවීම සඳහා කරුණු සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වෙයි.

එයට අමතරව නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව නව කෙටුම්පතක් සකස් කිරීම ද මෙම කමිටුවට පැවරී ඇති තවත් වගකීමක් වෙයි.

මේ අතර දහනවවැනි ආණ්ඩු ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (11දා) පෙරවරුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් කැඳවා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මුන්ද සිවලිංගම්, ජාතික කොන්ග්‍රසයේ ඒ. එල්. එම්. අතාවුල්ලා යන මහත්වරුන් සහභාගි වී ඇතත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහභාගි වී නොමැතිවීම කැපී පෙනේ.

මෙම සාකච්ඡාවේ දී 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් නව මැතිවරණ ක්‍රමය පිළිබඳ අදහස් විමසීමක් කර ඇති අතර එහිදී 19 ව්‍යවස්ථා සංශෝධනයට සියලුදෙනාගේම එකඟතාවයත් නව මැතිවරණ ක්‍රමය පිළිබඳව කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් තීරණය වී ඇත.