16042024Tue
Last update:Mon, 04 Mar 2024

මාතරට උදාගම් 10 ක්

new houseනව රජයේ සංවර්ධන ක්‍රියාවලිය යටතේ අනුව උදාගම් දෙසීයක් සහ උදාකළ ගම්මාන දෙසීයක් වශයෙන් ගම්මාන හාරසියයක වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර මේ යටතේ මාතර දිස්ත්‍රික්කයේ උදාගම්මාන දහයක් ආරම්භ කිරීමට නියමිත ය.

මේ යටතේ අවම වශයෙන් නිවාස විසි පහක්වත් ඉදි කළ හැකි ඉඩම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගෙන නිවසක් තැනීමේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් විසිපන්දහස බැගින් ණය ආධාර ලබාදීම සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා 5% අඩු පොළියට රුපියල් ලක්ෂය බැගින් ද, මැදි ආදායම් ලාභී පවුල් සඳහා 5% පොළියට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් ද, ඊට ඉහළ මට්ටමේ ආදායම්ලාභී පවුල් සඳහා සහන පොළියට රුපියල් තුන් ලක්ෂ පනස් දහස දක්වා ද ලබා දේ.

දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස සඳහා ඉතිරිය සම්පූර්ණ කර ගැනීමට පවුල් තුන්දහසකට රුපියල් විසිපන්දහස දක්වා ලබා දීමට කටයුතු යොදා ඇත. එපමණක් නොව වර්ග අඩි හයසියය දක්වා තිබූ නිවසේ භූමි ප්‍රමාණය වර්ග අඩි හත්සිය පනහ දක්වා වැඩි කර ඇත. මේ වෙනුවෙන් ලබා දෙන සිමෙන්ති කොට්ට ප්‍රමාණය ද දහයේ සිට විස්ස දක්වා දෙගුණයකින් වැඩිකර තිබේ. 

මව්පියන් හෝ ඥාතීන් නොමැති නිවාස හා වැන්දඹු නිවාස විශේෂ සංවේදී පවුල් වශයෙන් සලකා නිවාස තනා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නැංවීමට නියමිත ය.කඳුකර ප්‍රදේශවල වතු නිවාස හා වෙරළබඩ ධීවර නිවාස ක්‍රම ද සහනාධාර යටතේ ඉදිකිරීමට යෝජිතයි. මේ සඳහා ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ දිවිනැගුම සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනෙනු ඇත.

දෙදහස් දහසය වසර සඳහා මෙවැනි විශේෂ ව්‍යාපෘති හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.