ජනවාරි 8දා ජනතාව තැබූ විශ්වාසය ආපසු හරවන්න කිසිවකුට ඉඩක් නෑ

president1 380ජනවාරි 8 වැනිදා රටේ සිදුවූ පරිවර්තනය සම්බන්ධයෙන් පොදු මහ ජනතාව තැබූ බලාපොරොත්තු ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය .

 මේ රටේ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් ජනාවාරි 8 වැනිදා රටේ ජනතාව සිදු කළේ නිහඬ විප්ලවයක් බවද එම ජනතා ජයග්‍රහණය උපරිමයෙන්ම ආරක්ෂා කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය .

රටේ ජනාධිපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් තමා සියලු තීන්දු ක්‍රියාත්මක කරන්නේ ජනවාරි 8 වැනිදා රටේ සිදු වූ පරිවර්තනය ආරක්ෂා කරමින් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ සඳහන් කළේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම - හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට පෙරේදා (04) එක්වෙමිනි.

උත්සවය මාතර නිල්වලා පිවිසුම අභියසදී පැවැත්විණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. අන්‍යාගමික පූජකරුවන්ද ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

යහපාලනය යන රාජ්‍ය පාලන තේමාව යටතේ සැමට සාධාරණත්වය ඉටු කිරීමට රාජ්‍ය නායකයා ලෙස තමා කැප වී සිටින බවත් වංචාවෙන්, දුෂණයෙන්, මැර බලයෙන්, පවුල් පාලනයෙන් තොර යහපත් පාලනයක් රටේ ඇති කරන බවත් ජනධිපතිවරයා පැවසීය.

රටේ සියලු ක්ෂේත්‍රයන්හි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජනතා අවශ්‍යතා අනුව, සැලසුම් සහගත අයුරින් ඒවා ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි ද ජනාධිපතිවරයා කීවේය .

පෞද්ගලික කිර්තිනාමය උදෙසා රටේ සංවර්ධන සම්බන්ධයෙන් තීන්දු ගැනීමට වත්මන් ආණ්ඩුව සූදානම් නැතැයි පැවසූ ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රරතිපත්තියක් යටතේ සාමුහිකත්වය තුළින් රට සංවර්ධනය කරා ගෙන යන බව ප‍්‍රකාශ කළේය.

නව ආණ්ඩුව පත්වීමත් සමඟ ශ්‍රීලංකාව පිළිබඳ තිබූ විදේශ ප්‍රතිපත්ති වෙනස් වූ බව පැවසූ ජනාධිපතිවරයා සමස්ත ජාත්‍යන්තරයේම සහයෝගය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි ද එම සබඳතා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතු යැයිද අනාවරණය කළේය .

ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා පසුගිය කාලයටත් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

විදේශ ඇමැති මංගල සමරවීර, මුදල් ඇමැති රවිකරුණානායක , මහාමාර්ග ඇමැති කබීර් හෂිම්, ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා , චීන තානාපති ෂ්යෑං ලියැංග් මහත්වරු මෙන්ම ආරාධිත අමුත්තන් ජනතාව ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.