ජගත් සමුළුවේ 70 වන සැසි වාරය ඇමතීමට පිටත්ව ගිය ජනාධිපතිතුමා නිව්යෝක් නුවරට ළඟාවෙයි.

President 50එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා ඊයේ (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.

වොෂිංටන් හා නිව්යෝක් ශ්‍රී ලංකා තානාපතිවරු දෙපළ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා නවාතැන් ගැනීමට නියමිත හෝටලයේදී එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

හෙට (25) දිනයෙන් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ සමාරම්භක උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන් සහභාගී වීමට නියමිතව ඇත.

සිය නිල සංචාරය අතරතුර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (25) දිනයේදී ද්වීපාර්ශවීය සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව ස්ව්ට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් (Didier Burkhalter) මහතා සමග ද්වීපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර

දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකෝබ් සූමා (Jacob Zuma)) මහතා සමගද විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම හෙට (25) ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ (Peter Maurer) මහතා සමග සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානීන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නවසීලන්ත සහ පකිස්තානු විදේශ අමාත්‍යවරුන් සමග හෙට (25 සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය තුළ හැත්තෑවන වසර සපුරන එක්සත් ජාතීන්  “සාමය, ආරක්ෂාව සහමානව හිමිකම් පිළිබද ඉදිරි මග” යන තේමාව යටතේ රාජ්‍ය නායකයින් අදහස් දැක්වීමට නියමිතව ඇත.