රජයේ වෛද්‍යවරුන්ට පළමු වාහන බලපත්‍රය වසර 6කට පසුව

RanilWickremesinghe Jan19රජයේ වෛද්‍ය නිලධාරීන්ට පළමු වාහන බලපත්‍රය වසර හයකින් පසුව ලබාදීමට ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා රජයේ වෛද්‍ය නිලධාරීන් අතර ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මූලික වැටුප් හා ජාතික වැටුප් ප්‍රතිපත්තිය ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (18) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මූලික වැටුප සහ ජාතික වැටුප් ප්‍රතිපත්තිය, වෛද්‍යවරුන්ගේ නිල ප්‍රවාහන පහසුකම්, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා ස්ථාන  මාරුවීම් ලබන වෛද්‍යවරුන්ගේ, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහි දී දීර්ඝ හා සුහදශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ අනෙකුත් කාර්යමණ්ඩල සිය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් විදේශයන්හි සේවය සඳහා ස්ථාන ගත කිරීම පිළිබඳ යෝජනා මාලාවක් ද මෙහිදී සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා වෙත භාර දෙන ලදී.

වැටුප් කොමිසම නිර්දේශ කර තිබූ වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනා පිළිබඳ සොයා බැලීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දෙන ලදී.

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ද මෙහිදී සංගමය විසින් කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව පිළිතුරක් ලබා දෙන බව අගමැතිතුමා පැවසීය.

වාහන බලපත් ලබා දීමේදී පළමු බලපත්‍රය වසර 6කින් පසුව ද, දෙවන බලපත්‍රය වසර 10කින් පසුව ද ලබා ගැනීමට හැකි වන බව රජයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. විශ්‍රාම ලබන රජයේ සේවකයන්ගේ වාහන බලපත්‍රය ලබා දීමටත් රජය කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.

එහෙත් වසර 10ක කාල සීමාව සම්බන්ධව වෛද්‍ය නිලධාරී සංගමයේ එකඟත්වය පළ නොවිණි. මේ සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය එකඟවිණි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්වූහ.