රටවල් 37ක තානාපතිවරු වැලිකන්දේ

col dsc0712160114940 4081195 14032016 sjg cmyරටවල් තිස්හතක විදේශ තානාපතිවරු, මහකොමසාරිවරු සහ නියෝජිතයෝ ඊයේ (14) යුද්ධයෙන් පීඩාවට පත් වැලිකන්ද මැදිරිගිරිය ප්‍රදේශයේ ගම්මාන රැසක නිරීක්ෂණ චාරිකාවක නිරත වුහ.

පහසුකම් පිරි කොළොම්පුරේ සිට දුෂ්කරතාවලින් පිරි පුලතිසිපුරය දක්වා මේ විදේශ තානාපතිවරු පැමිණ සිටියහ.

මැදිරිගිරියේ සහ වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශයකට මෙතරම් විදේශ තානාපතිවරු පිරිසක් පැමිණියේ ප්‍රථම වරටය.

විදෙස් තානාපති සබඳතා ශක්තිමත් වීමත් සමඟ දුෂ්කර ගම්මාන සංවර්ධනය හා ජනතාවගේ දුක සැප සොයා බැලීම මෙහි අරමුණ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ සංචාරය පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් සංවිධාන කර තිබුණි.

පසුගිය කාලයේ යුද්ධය හේතුවෙන් ජනතාව අතහැර දැමූ සහ යුද්ධය හේතුවෙන් සංවර්ධන කටයුතු සිදු නොවු තර්ජිත ගම්මානවල සංවර්ධන කටයුතු සඳහා විදෙස් රටවල සහාය ලබා ගැනීම මෙහි අරමුණ විය.

ඒ අනුව ඊයේ පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්වැව වඬිගවැව, ගොඩපොත්ත, බෙරුවිල, පතොක් වැව පල්ලිය ගොඩනැල්ල ගම්මානවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

එහිදී වඬිගවැව ප්‍රාථමික විද්‍යාලයට ගිය විදේශ තානාපතිවරු පාසල් දුවාදරුවන් සහ මවුපියන් සමඟ සුහද කතාබහක යෙදුණු අතර ගම්වාසීන් විසින් විදෙස් තානාපතිවරුන්ට ගමේ රස කැවිලිවලින් සංග්‍රහ කරීමට ගම්වාසීන් අමතක නොකළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ තානාපතිවරු අතර විශේෂ හමුවක් පොළොන්නරුව සුදුඅරලිය හෝටලයේදී පැවැතිණි. අනතුරුව සවස් කාල‍‍‍යේ තානාපතිවරු වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තර්ජිත ගම්මාන කිහිපයක ද නිරීක්ෂණයේ යෙදිණි.

ගම්මානවල පැවැති අඩුපාඩු තානාපතිවරුන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්වූ අතර අලි මිනිස් ගැටුම, මාර්ග ප්‍රශ්නය, පානීය ජල අර්බුදය, සෞඛ්‍ය පහසුකම් ආදී විවිධ ගැටලු පිළිබඳ කොමසාරිස්වරුන්ගේ දැඩි අවධානය යොමු කළහ.