ජීඑස්පී සහනය ඉල්ලා නිල අයැදුම බාරදෙයි

harsha de silvaදැනට අත්හිටුවා තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය (වරණීය තීරුබදු) යළි ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයේ නිල අයදුම්පත ඊයේ (28) බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයට බාරදීමට නියමිතව තිබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අපනයනවලින් 25% – 30% අතර ප්‍රමාණයක් මිලදී ගනු ලබනුයේ යුරෝපා සංගමයේ රටවල් මඟිනි.

එම ප්‍රමාණයෙන් සියයට 40ක් මිලදී ගන්නේ මහා බ්‍රිතාන්‍යයයි. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම නිසා අපට ඇතිවන ආර්ථික පීඩනය මඟහරවා ගැනීමට ඔවුන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ක්‍රියාකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

යුරෝපයෙන් අහිමි වන ආර්ථික අවස්ථා, ආසියාවෙන් දිනාගැනීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාව හා ආසියාව අතර වැඩිදියුණු කළ යුතු ආර්ථික සම්බන්ධතා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එසේ කීය.

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළ ජනමත විමැසුම නිමාවුණා. අපේ අපනයන ආදායමෙන් විශාල මුදලක් විශාල අපනයන ප්‍රමාණයක් යැවෙන කලාපයක තමයි මේ වෙනස සිදුවුණේ. ඒ වෙනසත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම විශාල ලෙස අවප්‍රමාණයවීම සිදුවුණා.

මේ නිසා අපිට අපේ අපනයන ආදායම් අඩුවීමට හේතුවෙනවා. අපේ අපනයනවලට පවතින ඉල්ලුම අඩුවෙන්න පුළුවන්. ඒ ස්ටර්ලින් පවුම අවප්‍රමාණ වීමේ අර්බුදය නිසා. ඒ නිසා අපි මේ අභියෝගයෙන් මිදෙන්න වහාම යුරෝපා සංගමයට අමතරව මහා බ්‍රිතාන්‍යය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීමට ක්‍රියා කරමින් ඉන්නේ.

අපි වහාම මේ ගැන කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කළා.

ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම්වලින් සිදුකරන ගනුදෙනුවලදී ඇතිවන අහිතකර බලපෑමෙන් මිදෙන්න අපි ආසියාව සමඟ වැඩියෙන් එක්වෙන්න ඕනෑ. අපිට ඉන්දියාව සමඟ නව ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එළැඹීමට මෙය විශාල අවස්ථාවක් වෙනවා. අපි ඉන්දියාව, පාකිස්තානය, චීනය, ඒ වාගේම අනිත් රටවල් සමඟත් නව ගිවිසුම්වලට යා යුතුයි.

ඒ සඳහා විශාල උනන්දුවකින් රජය ඉදිරියේදී කටයුතු කරනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම්, උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආර්ථික අභියෝගය ගැන විශේෂ විශ්ලේෂණයක් කර වාර්තාවක් පවා රජයට ඉදිරිපත් කළා. ඒ වාර්තාවට අනුව ඉදිරියේදී මෙරටට එන බ්‍රිතාන්‍ය සංචාරකයින්ගේ අඩුවීමක් ඔවුන්ගේ අපේ රටේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම පහත වැටීම, විදේශ ණය ලබාගැනීමේදී අපට තරමක අවාසිදායක අවස්ථා සිදුවෙන්න පුළුවන්. මින් මිදෙන්න අපි වැඩි වේගයකින් ආසියානු රටවල වෙළෙඳ ‍ෙපාළට එක්වෙන්න ඕනෑ. නව දේශීය නිෂ්පාදන, කර්මාන්ත ඇතිවීම ඒකාබද්ධ ආයෝජන ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ශ්‍රී ලංකාවට ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස දියුණු වෙන්න පුළුවන්කම දැන් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය අපි ජය ගන්න ඕනෑ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරනවා යැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීය.