ශ්‍රී ලංකාව-ආසියාව සමඟ දිගුකාලීන සබඳතාවක්

col2142617165 4523120 26062016 slm cmyමහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලින් මිදීම සඳහා ආසියාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාලලේ දී ඊයේ (26) පැවැසීය.

ඉන්දියාව සමඟ ගිවිසුම් අවශ්‍ය නැතැයි රාජපක්ෂ රෙජිමය එදා කියූ කතා ඇසුවා නම් මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ විට අපට යන්නට තැනක් නැති වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. ගාල්ල මහ නගර සභා ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනට සහභාගි වෙමින් මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයෙන් ඇති විය හැකි හානි සහ ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

එක්සත් රාජධානිය (මහා බ්‍රිතාන්‍ය) යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමය ලෝකයේ තිබෙන තනි විශාලතම වෙළෙඳ පොළයි. චීනය, ඉන්දියාව, ජපානය මෙන්ම ශ්‍රී ලංකාව පැවසූයේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සිටිය යුතු බවයි. එය වෙළෙඳ පොළට අපේ අනනයනයෙන් 40% ක් පමණ යනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු එහි ආර්ථික අහේනියක් ඇති වුවහොත් බ්‍රිතාන්‍යයට ටීෂර්ට් ආදී නිෂ්පාදන අපනයනය කරන අපේ ගම්වල කර්මාන්තශාලාවලටත් පහර වදිනවා. අප ඊට විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ තීරණයෙන් අපට තදබල හානියක් නොවන අයුරින් ක්‍රියා කළ යුතුයි. අප යුරෝපා සංගමයට ජී.එස්.පී. ප්ලස් ඉල්ලුම් පත්‍රය භාරදුන් විට එම සහනය හැකි ඉක්මනින් ලබා ගැනීමට ක්‍රියා කරනවා. එක්සත් රාජධානිය සමඟ වෙනම ගිවිසුමක් ඇති කරගන්න අප බලාපොරොත්තු වනවා. එම ගිවිසුම ඇති කරන්නේ කෙසේද යන්න අපට තවම හරියට කියන්න බැහැ.

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තීරණයක් සමඟ ස්ටර්ලින් අගය කඩා වැටී තිබෙනවා. එය අපටත් ප්‍රශ්නයක්. අපේ විදේශ විනිමය සංචිතයෙන් 10% ක් ඇත්තේ ස්ටර්ලින් පවුම්වලින්. අපේ රටට මෙන්ම සෙසු රටවල්වලටත් මේ ප්‍රශ්නය බලපානවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ කෙසේද යන්න කරුණු පිළිබඳවත් දැන් ප්‍රශ්න පැන නැගී තිබෙනවා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට තීරණය කළත් පිටවන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කර නැහැ. එහි භේදයක් ඇති වුවහොත් ඒ භේදයට මුළු ලෝකයම හිර වෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. දේශපාලන නිදහස අවශ්‍යයි ස්කොට්ලන්තය පවසනවා. මේ අර්බුද නිසා යුරෝපා ආර්ථිකයටත්, සෙසු ආර්ථිකවලටත් අත්විය හැකි හානිය අවම කර ගත යුතුව තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ ඉල්ලා අස්වීම ගැන ඉකුත් සිකුරාදා සැලවු සැනින් ලෝක ආර්ථිකයට සහ ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව මට මහ බැංකුවෙන් වාර්තාවක් ලැබුණා.

මේ පිළිබඳව සිතා අප ක්‍රියා කළ යුතුයි. යුරෝපය අමෙරිකාව පිළිබඳව පමණක් අපට සිතන්නට බැහැ. දැන් අප දීර්ඝ කාලීනව ආසියාව සමඟ ඇති සබඳතා වැඩි කිරීමට ක්‍රියා කරනවා. ඉන්දියාව සමඟ තාක්ෂණ සහ ආර්ථික ගිවිසුමක් පිළිබඳව අප සාකච්ඡා කර තිබෙනවා. ලබන සතියේ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඉන්දියාවට යෑමට නියමිතයි.

එදා රාජපක්ෂ රෙජිමය මෙම ගිවිසුම් අවශ්‍ය නැති බව කිව්වා. අපි දුරදිග නොබැලුවා නම් අද අපට සිදුවන්නේ කුමක්ද? එක්සත් රාජධානිය යු‍රෝපා වෙළෙඳ පොළෙන් පිටවූ විට අපට යන්නට තැනක් නැහැ. ඔවුන් අපට කෑගැහුවා. පෙළපාලි ගියා. නමුත් හොඳ වෙලාවට ආසියාව සමඟ ප්‍රධාන ගිවිසුම් හතරකට එළඹීමට නියමිතව සිටියා.

ආසියාව සමඟ සබඳතා ඇති කර ගන්නේ කෙසේ දැයි මූලික වාර්තාවක් සකසන ලෙස මා කමිටුවක් පත් කර තිබෙනවා. මගේ අමාත්‍යංශයෙනුත් ඉන් පිට‍ෙතනුත් නියෝජිත පිරිසක් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

එම පිරිසට චරිත රත්වත්ත මහතා, කැදවුම්කරු වශයෙන්ද ආචාර්ය සමරතුංග, පාස්කරලිංගම්, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ උපදේශක ඉන්ද්‍රජිත් කුමාරස්ස්වාමි, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, සමන් කැලෑගම, ජනාධිපති උපදේශක සරත් රාජකරුණා, ක්‍රිෂාන් දිසානායක, සිරිමල් අබේරත්න, නිශාන් ද මැල්, මුර්තසා ජෙෆෙර්ජී, අනුෂ්ක විජේසිංහ යන මහත්වරුන් අපේ සබඳකම් ආසියාව සමඟ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් පවත්වා ගෙන යන්නේ කෙසේ දැයි කරුණු දැක්වීමේ කමිටුවේ සාමාජිකයන්ය.

කුඩා රටක් වශයෙන් අපේ වෙළෙඳ කටයුතු දියුණු කර ගැනීම ගැන සිතා බැලිය යුතුයි. සැලසුම් සකස් කළත් බොහෝ රටවල එය සාර්ථක වී නැහැ. දියුණුව සඳහා චීනය හා ඉන්දියාව ඉතා අත්‍යවශ්‍යයි. අමෙරිකාවේ සැලසුමේ ද ඉන්දියාව සහ චීනය ඇතුළත් වී තිබුණේ නැහැ. කුඩා රටක් වශයෙන් ඉදිරියට යාමට චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව සමඟ ආර්ථික ගිවිසුම් ඉතා වැදගත් වනවා.

මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සලකා ක්‍රියාත්මක කිරීමට පුළුවන්. වාර්තාව ලැබුණ පසුත් පුද්ගලික අංශය, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සාකච්ඡාවට භාජනය කර මමත් ජනාධිපතිතුමාත් සහ කැබිනට් මණ්ඩලයත් සාකච්ඡා කර තීරණයකට එළඹිය හැකියි. මෙවන් අර්බුදයක් ගැන අවදානමක් තිබුණද පැවැති රජයන් ඒ පිළිබඳ සැලසුම් සකස් කර තිබුණේ නැහැ.

අප මේ සඳහා සැලසුම් සහ විකල්ප සකස් කර තිබුණා. ඉදිරියට යන පක්ෂයක කොටස්කරුවන් නිසා අපට මෙය සැලසුම් කර ගැනීමට හැකි වුණා. ඉදිරියට යන පක්ෂයේ කොටස්කරුවන් වශයෙන් එම සාර්ථකත්වය ලබාගෙන සංවර්ධනය සිදු කිරීම තුළින් රටේ මධ්‍යම පන්තියක් ඇති කළ යුතුයි. ඒ සඳහා වන පුහුණුව අප සතුව තිබෙනවා. එම නිසා රට ඉදිරියට ගෙන යන, අනාගතයක් උදා කරන පක්ෂය සමඟ එක්වෙන්නැයි සියලුම තරුණ තරුණියන්ට සහ සියලු දෙනාටම මා ආරාධනා කරනවා. තරුණ තරුණියන් පක්ෂයේ වගකීම භාර ගත යුතුයි. අනාගතය භාර ගත යුතුයි.