ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා කිසිදු අයුරකින් පළුදු වී නොමැති බව ජනපති අවධාරණය කරයි.

President 02 11ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පිලිබඳ අන්තවාදීන් නොයෙකුත් වැරදි විග්‍රහයන් සිදු කළද වත්මන් රජය යටතේ දෙරටම ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඉන්දීය රජයේ ආධාර මත සංවර්ධනය කරන ලද යාපනය ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (18) පෙරවරුවේ එක් වෙමිනි.

මෙම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කර උතුරේ දරුවන්ට පවරාදීමට හැකිවීම ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහය ලැබෙන අතර අන්තර්ජාතික සහ කලාපීය වශයෙන් ද දෙරටේ සබඳතා ඉතා වැදගත් බව ජනාධිපතිතුමා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ක්‍රීඩාංගණය ජාති, ආගම්, කුල සියලූ භේද අභිබවා සංහිඳියාව ගොඩනගන කේන්ද්‍රස්ථානයක් බව ද පැවසූ ජනාධිපතිතුමා උතුරේ සහ දකුණේ දරුවන් අතර සංහිඳියාව ගොඩනඟන තෝතැන්නක් බවට යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය පත්වනු ඇති බව ද ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයකු වු ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාට එදා තැබූ වෙඩි පහර සංකේතවත් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය වෙඩි තබා ඝතනය කිරීමක් බවත්, අද ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය නැවත සංවර්ධනය කොට විවෘත කිරීම මගින් ඒ අතීත මතක මකා දමා, සංහිඳියාව පිලිබඳ නව ගමනක බලාපොරොත්තුවක් ඇති කරවන බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව ඇමතූ අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දීය රජය සැමදා ශ්‍රී ලංකාව සමග සහෝදරත්වයෙන් අත් වැල් බැඳගෙන සිටින බවයි. ශ්‍රී ලංකාවේ සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගෙනු දැකීම ඉන්දීය රජයේ අපේක්ෂාව බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණු අතර පාසල් දරුවන් පන්දහසකගේ සහභාගිත්වයෙන් පැවති එම වැඩසටහනට සමගාමීව ඉන්දියාවේ නව දිල්ලි නුවර පාසල් සිසුන් 11,000 ගේ සහභාගිත්වයෙන් පැවති වැඩසටහන ද මෙහිදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කෙරිණි.

රුපියල් මිලියන 145 ක් වැය කරමින් ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය සංවර්ධනය කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මෛත්‍රී අංගජන් රාමනාදන්, ඩග්ලස් දේවානන්ද, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, පී. සරවනභවන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් ද, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
02

04

05

06

08

09

11

14

14 (1)

18

20

21