28032024Thu
Last update:Mon, 04 Mar 2024

මත මඬින්න මහා බළකායක්

President7aනීති විරෝධී ලෙස මෙරටට මත්කුඩු හා මත්ද්‍රව්‍ය ගෙන්වීම මුළුමනින්ම නැවැත්වීම සඳහා බුද්ධි අංශ බලධාරීන් ප්‍රධාන සියලු අංශ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විශේෂ වැටලීම් ඒකකයක් වහාම ස්ථාපිත කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව බුද්ධි අංශ, ආරක්ෂක අංශ, මුදල් අංශ හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

මෙරටට හොර රහසේ මත්කුඩු හා මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත විශේෂ විමර්ශන ඒකකය පෙරේදා (14) ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා රේගුව එක්ව සිදුකළ සාර්ථක මෙහෙයුම පිළිබඳව මාධ්‍යයට කරුණු දැක්වීමට ඊ‍යේ (15) දහවල් එම අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් රවී කරුණානායක මහතා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ඇමැතිවරයා මෙසේ ද කීය.

බ්‍රසීලයෙන් සීනි ගෙන එන මුවාවෙන් මෙරටට ගෙන ආ විශාලතම වටිනාකම සහිත කොකේන් මත්ද්‍රව්‍ය තොගය අපිට අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබුණා. එය කළේ අපේ අමාත්‍යංශය මඟින් පත්කළ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු ඔත්තුවකට අනුවයි. ඒ සඳහා අපේ විශේෂ ඒකකයේ නිලධාරීහු, ශ්‍රී ලංකා පොලිසියේ, විශේෂ කාර්ය සාධක බළකායේ, රේගු දෙපාර්තමේන්තුවේ සියලුදෙනා එකාවන්ව වැඩ කළා.

සාර්ථක ප්‍රතිඵලයක් තමයි එයින් රටට ලැබුණේ. මීට පෙර මේවාගේ වැටලීම් සිදු වුණේ නැහැ. අපි නීති විරෝධීව කිසිම දෙයක් රටට ගෙන ඒමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ.

මේ ජාවාරමට සම්බන්ධ සයලු දෙනාට ම එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. කිසිම බාධාවක් ඇතිවෙන්න ඉඩ තබන්නේ නැහැ.

මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන්ත කුමාර කිතුලවආරච්චි, මුදල් අමාත්‍යංශ මත්කුඩු හා මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ප්‍රධානි ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ, රේගු අධ්‍යක්ෂ ලාලිත්‍ය වීරසිංහ යන මහත්වරු අදහස් දැක්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ කරුණු අනාවරණය විය.

ශ්‍රී ලංකාවට සීනි තොගය එවූ බ්‍රසීල අපනයනකරු අත්අඩංගුවට ගැනීමට බ්‍රසීල රජය පොරොන්දු විය.

මත්කුඩු හා මත්ද්‍රව්‍ය ගෙන්වීම වැළැක්වීමට බුද්ධි අංශ ප්‍රධාන සියලු අංශවල සාමාජිකයින්ගෙන් සැදුම්ලක් විශේෂ ඒකකයක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්.

සීනි තොගය ගෙන ආවේ මාගේ ඥාති සමාගමක් යැයි පළ කළ වෙබ් අඩවියට එරෙහිව අපරාධ නීති සංග්‍රහය යටතේ නඩු පවරනවා යැයි මුදල් ඇමැති පවසයි.

නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ යන අයට අයත් වෙබ් අඩවියෙන් මට මඩ ගහනවා. ඒ ගැන නීත්‍යානුකූලව සොයා බලන්න යැයි මුදල් ඇමැතිගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්.

වසර 2014 දී මාසයට රුපියල් මිලියන 2000 සුරාබදු ආදායම මේ වන විට මාසයට රුපියල් මිලියන 13000 දක්වා ඉහළට.

අයි. එම්. එෆ්. මුදල් ලැබෙනවා. ඒත්! ර‍ටේ සල්ලි අච්චු ගහනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කරන කතාව අපභ්‍රංසයක්.

පැනමා පේපර්ස් තොරතුරුවලින් හෙළිදරව් වන ශ්‍රී ලාංකික වංචාකාරයින්ට උපරිමයෙන් දඬුවම් ලබා දෙනවා.

ආනයන ආදායමට වඩා අපනයන ආදායම සියට 03 කින් ඉහළට.

කොකේන් තොගය පිළිබඳ පරීක්ෂණයට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නවා.

ජනපති - අගමැති උපදෙස් මත කොළොන්නාව ගංවතුර විපතින් පීඩාවට පත්වූවන්ට ලබන සෙනසුරාදා වන විට වන්දි මුදල් ලබා දෙනවා.

මේ සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා දී තිබියදී එක්තරා නිලධාරි කණ්ඩායමක් වන්දි දීම ප්‍රමාද කර තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය පමණක් නොව මත්ද්‍රව්‍ය වැටලීම් කිරීමට අවශ්‍ය නම් යුද හමුදාවේ සහායත් ලබා ගන්නවා.

මෙරටට එන සෑම කන්ටේනරයක්ම රේගුවේ දී ස්කෑන් කිරීමේ පහසුකම තව තුන්මාසයක් ගතවීමට පෙර ලබා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වූ දා සිට මත්ද්‍රව්‍ය, මත්පැන් වැටලීමට ක්‍රියා කළා.රජයේ ආදායමට වඩා රටට වන හානිය අවම කිරීම ජනපති දැක්ම බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වරාය ලොව ආරක්ෂිත වරායන් බවට ඇති කීර්තිනාමය පළුදු කිරීමේ තැතක් ඇත්දැයි සැකයක් මතු වෙනවා.

රුපියල් මිලියන 11 ක් වටිනා බ්‍රසීලයෙන් ගෙන ආ සීනි කිලෝ 26650 ම ආනයනකරුට අහිමි කළා.

අවුරුදු 20 ක් සීනි මෙරටට ගෙන ආ සැකකරුවන්ට මෙතෙක් කිසිම චෝදනාවක් නැහැ. ශ්‍රී ලංකා රේගුව පවසයි.

ආනයනකරුගේ අතීත ව්‍යාපාරික ක්‍රියා ගැන පුළුල් විමර්ශනයක් සිදු කරනවා.