19042024Fri
Last update:Thu, 18 Apr 2024

කාන්තාවන්-දැරියන්ගේ සුරක්ෂිතතාවට අනුකමිටුවක්

ranil 01ශ්‍රී ලාංකේය කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත පරිසරයක් සහ හිංසනයෙන් තොර වටපිටාවක් සැකසීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීමටත්, එම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමටත් රජය කටයුතු යොදනු ඇත.

පසුගිය සෙනසුරාදා (22වනදා) කාන්තාවන් සහ දැරියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම සැලසුමට අනුව ඒ අමාත්‍යංශ වෙත කාර්ය සාධන කටයුතු පැවරීමද ඒ අවස්ථාවේදී සිදුකෙරිණි.

කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වූ කාර්ය සාධක බළකාය අගමැති වික්‍රමසිංහ මහතා විසින් පත්කෙරුණේ 2015 මැයි මාසයේදීය. වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ලෙස පත්කෙරුණු කමිටුවක් මගින්ද කාන්තාවන් සහ දැරියන්ගේ ගැටලු පිළිබඳව සවිස්තර වාර්තාවක් සකස් කෙරුණු අතර, එය 2014 දෙසැම්බරයේදී එළි දැක්විණි.

මහාචාර්ය සාචිත්‍රී ගුණසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කාර්ය සාධක බළකාය සිය සැලසුම සකස් කිරීමේදී ඉහත කමිටු වාර්තාවද පදනම් කරගත් අතර, සමාජයේ විවිධ ක්ෂේත්‍ර සහ ස්ථර නියෝජනය කරන කණ්ඩායම් වෙතින්ද අදහස් ලබාගන්නා ලදී. කාර්ය සාධක බළකායේ සැලසුම ක්‍රියාත්මක කරලීම සඳහා ඉදිරි සති 6 ඇතුළත යාන්ත්‍රණයක් සහ එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලීම අධීක්ෂණය කිරීමේ ක්‍රම‍ෙව්දයක් සැකසීමටත් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුනි.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද, අග්‍රාමාත්‍ය ලේකම්, කාන්තා සහ ළමා, අධ්‍යාපන, අධිකරණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, විදේශ කටයුතු යන අමාත්‍යංශ ලේකම්වරු, නීතිපති, පොලිස්පති, නීති කෙටුම්පත් සම්පාදක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති යන රාජ්‍ය නිලධාරිහුද, කාන්තාවන් සහ දැරියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වූ කාර්ය සාධක බළකායේ සාමාජිකාවන්ද මේ අවස්ථාවට එක්වූහ.