“සදහම් යාත්‍රා” බක් පුර පසළොස්වක පොහෝ දින ආගමික වැඩසටහන ජනපති සහභාගීත්වයෙන්.

President 1 5“සදහම් යාත්‍රා” ධර්ම දේශනා මාලාවේ බක් පුර පසළොස්වක පොහෝ දින ආගමික වැඩසටහන අද (21) පෙරවරුවේ ගාල්ල, පෝද්දල පහළකීඹිය ශ්‍රී ශෛලාලයාරාම පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති බද්දේගම ශ්‍රී අමරවංශ පිරිවෙනෙහි ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය කීඹියේ ඥාණරතන ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

මෙවර “සදහම් යාත්‍රා” ධර්ම දේශකයාණන් වූයේ බද්දේගම ශ්‍රී අමරවංශ පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වැලිවිටියේ විමලසාර ස්වාමීන් වහන්සේය.

ධර්මශ්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

මෙහිදී විහාරාධිපති බද්දේගම ශ්‍රී අමරවංශ පිරිවෙනෙහි ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය කීඹියේ ඥාණරතන ස්වාමීන් වහන්සේ, ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මැලිබන් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයාගේ ගමන්මග හා ජීවන තොරතුරු ඇතුළත් කෘතියක් මැලිබන් කිරි අභයදාන සත්කාරයේ සම්බන්ධීකාරක දීඝායූ අබේනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

සදහම් යාත්‍රා ආගමික වැඩසටහන් මාලාවට සමගාමීව ඝාතනයට කැප වූ කිරි ගවයන් නිදහස් කිරීම ඇතුළු පුණ්‍ය කටයුතු රැසක් ද අද දින පැවැත්විණි.

මෙම පිංකම් මාලාවට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

7 5 6 3 1