හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනපති ප්‍රදානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී.

01 12හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

අලූත් සහල් මංගල්‍යයට එක්වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක් විය.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හතළිස් නව වෙනි වරට සංවිධානය කර තිබුණි.

වස විස නැති දේශීය සහල් බඳුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීම මෙහිදී සිදු විය.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා, රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වේවායි රටට, ජාතියට සෙත් පැතීම මෙම අලූත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මුළු මහත් ජනතාවම නිරෝගි ජනතාවක් ලෙස ගොඩනැඟීමට වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමට මෙම උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සියලූ ගොවි ජනතාව අධිෂ්ඨාන කරගත යුතු බවයි.

ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දීමට රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ඉදිරියේදී ගමින්, ගම ව්‍යාප්ත කරමින් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා කුමන අන්දමේ චෝදනා තිබුණද රටට සහ ජනතාවට අවශ්‍ය දේ ඉටු කිරීමට රජය කැපවී සිටින බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම ගොවියා වී නිෂ්පාදකයෙකු පමණක් නොව සහල් නිෂ්පාදකයෙකු බවටද පත් කරමින් අතරමැදියන් විශාල ලාභයක් ලැබීම නිසා ගොවි ජනතාවට සිදුවන පාඩුව වළක්වා ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා ඉදිරියේදී ඒ සඳහා නියමු ව්‍යාපෘති රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද කියා සිටියේය.

වැදි නායක ඌරුවරිගේ වන්නිලෑත්තෝ විසින් සාම්ප්‍රදායානුකූලව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට මී පැණි පූජා කිරීමද මෙහිදී සිදු වූ අතර සියලූ පළාත් ආවරණ වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ දේශිය සහල් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අලූත් සහල මංගල්‍ය පිලිබඳ සමරු කළඹ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ද, රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ද, පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01 02 03 05 06 07 08 10 11