28032024Thu
Last update:Mon, 04 Mar 2024

ජාතික ශාසනික මෙහෙයක නව පියවරක් ඇරැඹෙයි

21 jathikaඉපැරැණි සිරිතට අනුව මල්වතු පාර්ශ්වයේ නව මාහිමියන් පත්වූ බව අස්ගිරි පාර්ශ්වයට දැන්වීම ඉකුත්දා සිදුවිය. මේ ලිපිය පළවන්නේ ඒ වෙනුවෙනි.

තිලක් පුෂ්පකුමාර සේනානායක

වර්ෂ 1753 වසරේදී උපාලි මහ තෙරුන්වහන්සේගේ ආචාර්යත්වයෙන් සාමණේර උපසම්පදාව ලබා සියම් මහනිකාය මෙරට පිහිටුවීම සියවසේ බොරොච්කොත් රජුගේ හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් සිදුකළ තැන් පටන් මල්වතු - අස්ගිරි උභය මහා විහාරවල සිදුකෙරෙන පැරැණි සම්ප්‍රදායික පිළිවෙත් යළි සිහියට නංවමින් අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ලෙස වරකාගොඩ ඥානරතන මහානාහිමියන් පත්වූ බව මල්වතු පාර්ශ්වයේ මහාසංඝරත්නය වෙත නිල වශයෙන් දැනුම්දීමේ විශේෂ උත්සවයක් (09) දා මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී පැවැත්විණි.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනාහිමියන්, එහි ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අස්ගිරි මහාවිහාරයේ සිට දැහැත්වට්ටි රැගෙන පාගමනින් මල්වතු මහාවිහාරයට වැඩමකොට මංගල උපෝෂථාගාරයට රැස්ව එහි වැඩ සිටි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන්, අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වයේ කාරක සභාවට දැහැත්වට්ටි පිළිගන්වා නව මහානායක හිමිපාණන්වහන්සේ පත්කර ගත්බව නිලවශයෙන් දැනුම්දීම සිදුකළහ.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනාහිමියෝ කෙටි අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

සියම් රටේ උපාලි මහ තෙරුන්වහන්සේ මෙරටට වැඩමකොට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් යළි උපසම්පදාව පිහිටවූ දා සිටම මෙම උභය විහාරවල සාම්ප්‍රදායික අතීත පිළිගැනීම අනුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පදවියට පත්වූ මහානායක වරකාගොඩ ඥානරතන හිමියන් පත්වීමේ පුවත සැලකිරීමට අද රාජකීය උපෝෂථාගාරයේදී සිදුකරනවා. අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහානායක වරකාගොඩ ඥානරතන මහා නාහිමියන්ගෙන් සිදුවූ ශාසනික සේවාව විශිෂ්ටය. උන්වහන්සේ අස්ගිරි මහා විහාරයේත් විශාල ශාසනික සේවාවක් සිදුකළා. අපගේ පුරාණ චාරිත්‍ර පිළිවෙත් යළි සිහිපත් කරමින් මල්වතු මහා විහාර‍ය වෙත එම පත්වීම සැලකිරීම අද සිදුකැරෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා විසින් දැහැත්වට්ටි පිළිගැනීමෙන් පසු මල්වතු මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ කෙටි අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

වරකාගොඩ ඥානරතන හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියට පත්කර ගනු ලැබූ බව දන්වනු ලැබුවා. පුරාණ චාරිත්‍රානුකූලව ඒ කටයුතු අද සිදු කැරුණා. ශ්‍රද්ධාව තිබෙන තාක් මේ බුද්ධශාසනය පවතිනවා. හෙළ රාජ යුගයේ සිටම විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසේ සිටම මේ උභය මහා විහාර‍ෙද්වය තුළ ඇතිවූ වත් පිළිවෙත් අඛණ්ඩව සිදු කැරෙනවා. මෙරට බුදුසසුනේ ඉදිරිගමන සඳහා පුරාණ චාරිත්‍ර විධි එලෙසින් ඉටු කිරීමත් පැරණි සිරිත් අඛණ්ඩව පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය වී තිබෙනවා.