29032024Fri
Last update:Mon, 04 Mar 2024

රජයේ ආර්ථික වැඩපිළිවෙළ ජුනි මාසයේ ප්‍රකාශයට

01 rajayeජුනි මාසයේදී රජයේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර එම වැඩ පිළිවෙළ මගින් ඉදිරි වසර තුන තුළදී රට සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැයි මස පැවැත්වෙන ජී -7 රැස්වීමට සහභාගි වී පැමිණීමෙන් පසු මේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරන බව අගමැතිවරයා අවධාරණය කළේය.

එම සංවර්ධන වැඩ පිළිවෙළ සඳහා චීන සමාගම් සම්බන්ධ කරගන්නා බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා තමා පසුගියදා සහභාගි වු චීන සංචාරය තුළදී ඊළඟ දශක දෙක තුළ අවශ්‍ය කරන ආර්ථික උපක්‍රම පිළිබඳ එකඟත්වයකට පැමිණීමට මුලිකත්වය දුන් බවද පැවසීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ චීනයේ තෙදින නිල සංචාරය නිම කර පැමිණිමෙන් පසු අරලිය ගහ මන්දිරයේදි ඊයේ (10) විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

කර්මාන්තකරණය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලබා දුන් උපදෙස් සහ ලබා දෙන සහයෝගය අගය කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා කීය.

රැකියා දස ලක්ෂයක් බිහි කිරීමට නම් අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා ඒ සඳහා ලෝක වෙළෙඳ ‍පොළට ඇතුළත් වීම සඳහා මේ වසර අවසන් වීමට පෙර ඉන්දියාව සමඟ ආර්ථික ගිවිසුමක්, චීනය සහ සිංගප්පුරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්, ජපානය සමඟ ආර්ථික එකඟතාවයකට එළැඹීම සහ ජී.එස්.පී.ප්ලස් ලබා ගැනීම මගින් මිලියන තුන්දහසකට වඩා විශාල වෙළෙඳ පොළක් ලැබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර අමෙරිකාවේ මැතිවරණයෙන් පසු එරට නව පාලනයේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අමෙරිකාව සමඟද ආර්ථික සබඳතා ඇති කර ගන්නා බවද කී වික්‍රමසිංහ මහතා ඊළඟ වසරේ තුර්කිය, ඉරානය, පකිස්ථානය, අයර්ලන්තය, කොරියාව වැනි රටවල් ගණනාවක් සමඟද වෙළෙඳ ගිවිසුම් ඇති කර ගන්නා බවද පැවසීය. මේ වෙළෙඳ පොළ ඇති කර ගත් පසු ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරි ආර්ථික රාමුවක් ඇති කළ හැකි බවද කී වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා සහ තමා කළ විදේශ සංචාර මගින් ප්‍රතිඵල ලැබී ඇති බවද කීය.

දැන් ලෝකය අපේ රට සමඟ වැඩ කරන බව කී අගමැති වික්‍රමසිංහ මහතා එම පසුබිම මත චීනය සමඟ සාකච්ජා කළ බවද කීය. අප රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වන බව සඳහන් කළ අගමැතිවරයා ආර්ථික වැඩ සටහනක් නොමැතිව යටිතල පහසුකම් සපයා පළක් නොවන බවද පැවසීය.

1952 සිට මෙතෙක් කල් චීනය සමග ශ්‍රී ලංකාව සම්බන්ධකම් පැවැත්වුවේ ආණ්ඩු දෙක අතර බවද ඉදිරියට පුද්ගලික ආයෝජන සිදු කරන අතර චීන සමාගම් මෙරටටත් මෙරට සමාගම් චීනයටත් යන බවද කීය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වන විට එහි ප්‍රධාන නගරය බවට අලුතින් ඉඳි කරගෙන යන මෙගා පොලිස් නගරය පත් වෙන බවද කී අගමැතිවරයා කලින් තිබූ වරාය නගර ව්‍යාපෘතියට ආර්ථික පසුබිමක් නොතිබු බවත් මෙගා පොලිස් නගර සීමාවට ඇතුළත් කිරීමෙන් ආර්ථික පසුබිමක් ලැබුණු බවද කීය. මූල්‍ය හා ව්‍යාපාරික කේන්ද්‍රය නගර වරාය තුළ ඇති කිරීමට තීරණය කළ බවද එමගින් එහි වටිනාකම වැඩි වූ බවද කීය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල දියුණු කිරීම සඳහා චීන සමාගම් දායක වන බවද කී අගමැති වික්‍රමසිංහ මහතා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර දාහක කර්මාන්තශාලා ඉඳි කිරීමට චීන සමාගම් ඉදිරිපත් වී ඇති බවද කීය. රැකියා බිහි කිරීමට කර්මාන්තකරණය අවශ්‍ය අතර චීන අගමැතිවරයා සමඟ කර්මාන්තකරණය ගැන සාකච්ජා කළ බව කී වික්‍රමසිංහ මහතා සංචාරක කර්මාන්තයට සම්බන්ධ වීමටද චීනය විශේෂ කැමැත්තක් දැක් වු බවද සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා චීනයට ගොස් ඒ පිළිබඳ සම්මන්ත්‍රනයක් පවත්වන බවද කීය.

චීන සංචාරයේදී අත්සන් කළ ගිවිසුම්වලට අමතරව ලබන වසරේ චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන බවත් ලබන වසරේ චීන අගමැතිවරයා ලංකාවට පැමිණි විට එය අත්සන් කරන බවද කීය. චීනයට යාමට පෙර සියලුම පක්ෂ නායකයන්, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා මහතාද දැනුවත් කර ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ බවද අගමැතිවරයා කීය.