කැබිනට් පත්‍රිකා නිවැරැදිව සකසන්න උපදෙස්

Wickremesinghe 8ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ යෝජනා නිවැරැදිව සකසන ආකාරය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ආර්ථික උපදේශකවරුන්ට ඊයේ (30) උපදෙස් දී තිබේ.

රජයේ ආර්ථික කටයුතු පිළිබඳ උ‍පදේශක ආර්. පාස්කරලිංගම් මහතා විසින් ඉදිරියේදී අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතය.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකා සහ යෝජනා බොහෝමයක් නියමාකාරයෙන් සකස් නොකිරීම, පරිවර්තනය කිරීමේ දී වැරැදි පැවැතීම සහ ඉංග්‍රිසි භාෂාව නිවැරැදිව නොහැසිරවීම වැනි අඩුපාඩු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල පැවැතිම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානයට යොමු වී ඇති අතර පසුගිය දිනවල ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකා කිහිපයකම අඩුපාඩු සැකසීමට කැබ්නට් අනුකාරක සභාවට යොමු කිරීමට සිදු වීම මෙසේ උපදෙස් ලබා දීමට ආසන්නම හේතුව වී තිබේ.

අමාත්‍යාංශයක් ඉදිරිපත් කළ කැබ්නට් සංදේශයක අන්තර්ගතයේ අමාත්‍යාංශයක නම ඉංග්‍රීසියෙන් ස්වදේශ යනුවෙන් සඳහන් කර තිබී ඇති අතර සිංහලෙන් රාජ්‍ය පරිපාලන ලෙස නම් කර තිබීම අගමැති වික්‍රමසිංහ මහ‍තාගේ නිරීක්ෂණයට ලක් වී තිබිණි.

එම කැබිනට් පත්‍රිකාව වැඩිදුර අධ්‍යයනයට කැබිනට් අනුකාරක කමිටුව වෙත යොමු කෙරුණු අතර අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අධීක්ෂණය මත ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකා කිහිපයකම ඉංග්‍රීසි භාෂාව හසුරුවා ඇති ආකාරය අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු දැනුවත් කරන ලෙස අගමැතිවරයා පාස්කරලිංගම් මහතාට දැනුම් දී තිබේ.