විනිසුරු නිවාස අසල පෝස්ටර් ගැසූ අයට නීතිය තදින්ම

02 loka 01අධිකරණයට බලපෑම් ඇති කරන ආකාරයට විනිසුරුවන්ගේ නිවාස ඉදිරිපිට පෝස්ටර් ගැසූ පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.පෝස්ටර් ගැසූ පුද්ගලයන් කවුරුන්දැයි හරියාකාරව සොයා බැලීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බුද්ධි අංශ හා අනෙකුත් ආරක්ෂක අංශ වෙත ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික නීති සම්මේලනය 2016 වාද්දුව බ්ලූවෝටර්ස් හෝටලයේ පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ කරුණු අනාවරණය කෙළේ ය.

“රටේ අධිකරණ ක්ෂේත්‍රයේ සෑම කෙනෙකුට ම නිදහ‍ෙස් කටයුතු කිරීමට අපි ඉඩදී තිබෙනවා. කිසිදු බලපෑමකින් තොරව කටයුතු කරන්න පුළුවන්. බලයේ සිටින අය ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ අයට නිදහස විවර කරනවිට රජයේ නොවන අය විනිශ්චයකාරතුමන්ලාගේ ගෙවල් ඉදිරිපිට පෝස්ටර් ගැසූ පුවත් මම දුටුවා” යැයි කී ජනාධිපතිවරයා ඒ අනුව එම පිරිස් සොයා ඔවුනට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස බලධාරින්ට උපදෙස් ලබාදුන් බව ද සඳහන් කෙළේය.