සා/පෙළ හපන්නු

02 sa 01ඉංජිනේරුවරියක වී රටට සේවය කිරීම මගේ අපේක්ෂාවයි

ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා අනාගතයේ ඉංජිනේරුවරියකවී රටට සේවය කිරීම තම අපේක්ෂාව බව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු රටෙන් ම ප්‍රථම ස්ථානය ලබා ගත් කොළඹ විශාඛා විද්‍යාලයේ එස්.සත්සරණි හෙට්ටිආරච්චි සිසුවිය පැවසුවාය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය ලැබූ සත්සරණි සිසුවිය සොයා දිනමිණ අපි මුල්ලේරියාව හිඹුටානේ පිහිටි ඇයගේ නිවෙස වෙත ගියෙමු.

සැලසුම් සහගතව විෂය කරුණු අධ්‍යයනය කරමින් එදිනෙදා පාඩම් වැඩ ඒ ඒ දිනවල ම අවසන් කිරීමත්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයමින් ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සපයන ආකාරය කල් තබා අවබෝධ කර ගැනීමත් නිසා අනවශ්‍ය පීඩනයකින් තොරව විභාගයට මුහුණ දීමට හැකිවීම මෙවැනි විශිෂ්ට ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීමට ඉවහල් වූ බව ඇය සඳහන් කළාය. දිවයිනේ මුල් දහදෙනා අතරට පැමිණීමට හැකිවෙතැයි යන විශ්වාසය පැවතියත් විෂය නවයට ම ඒ සාමාර්ථ ලබා ගැනීම තමාගේ මූලික අරමුණ වූ බවද කීවාය.

ව්‍යාපාරිකයකු වන ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි මහතාගෙත්, ගෘහණියක වන දිල්හානි රාජපක්ෂ මහත්මියගේත් දෙටු දියණිය වන සත්සරණි සිසුවියට 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන නැඟෙනියක ද සිටින්නීය. අම්මාගේත් තාත්තාගේත් දිරිගැන්වීම, මඟ පෙන්වීම සහ ආදරය තමාගේ ජයග්‍රහණයට සුවිශේෂී පිටිවහලක් වූ බව ඇය අප හා පැවැසුවා ය.

02 sa 02 300x204පොත පතට පමණක් සීමා නොවී විෂය සමගාමී කටයතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකට දායකවී සිටින සත්සරණි 10-11 වසරවල පාසල් ශිෂ්‍ය නායිකාවක ලෙසද කටයුතු කර තිබේ. විශාඛා විදුහලේ අපරදිග ගායන කණ්ඩායමේ සාමාජිකාවක ලෙස සිටිමින් ම 11 වසරේදී පෙරදිග සංගීත අංශයෙන් විදුහලට සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් ද ලබා දීමට සමත්වීම විශේෂත්වයකි. ඊට අමතරව පාසලේ තාරකා විද්‍යා සංගමයේද ඇය සාමාජිකාවක ලෙස කටයුතු කරන්නීය.

කොළඹ 10 සංඝමිත්තා විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් ලබා ගෙන කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරමින් සිටින සත්සරණි 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සෑම වාර විභාගයකින් ම පන්තියේ පළමුවැනියා බවට පත්ව ඇති දක්ෂතම සිසුවියකි. විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ මහත්මිය තම දක්ෂතා මුල පටන් ම හඳුනාගනිමින් දිවයිනේ මුල් දස දෙනා අතරට පැමිණිය හැකි බවට නිබඳවම තමා දිරිමත් කළ බවත් කීවාය. පන්ති භාර ගුරුතුමිය වන ජානකී මදවනආරච්චි මහත්මිය ඇතුළු තමන්ට උගැන්වූ සියලු ගුරු මහත්මීන් වෙතත් ලැබුණු මඟ පෙන්වීම සහ දිරිගැන්වීම ‍මෙවැනි විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලැබීමට බෙහෙවින් ඉවහල්වූ බව ද ඇය කෘතවේදීව සිහිපත් කළාය. එමෙන්ම කොළඹ සංඝමිත්තා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අවධියේ විදුහල්පතිනියව සිටි විනීතා ජයවිට මහත්මිය සහ තමාට සිප් සතර උගැන්වූ සියලු ගුරු මවුවරුන් ද මේ මොහොතේ සිහිපත් කරන බවද සඳහන් කළාය.


මගේ අපේක්ෂාව ඉටුකරගන්න කැපවීමෙන් ඉගෙනීමේ යෙදෙනවා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මුළු දිවයිනෙන් ම දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ.කේ.සමල් පුන්සර සිසුවාය.

ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා අනාගතයේ ඉංජිනේරුවකු වීම තම අපේක්ෂාව බවත්, ඒ සඳහා කැපවීමෙන් අධ්‍යාපනය කටයුතු වල නිරතවීමට සූදානමින් සිටින බවත් හෙතෙම පවසයි. පාසලෙන් හැම විටම කිව්වේ ඔයා ඒ නවයක් අරගන්නවා ඒ නිසා පළමු දස දෙනා අතරට පැමිණීමට උත්සාහ දරන්න කියලයි. ගිය වසරේ ලංකාවේ පළමුවැනියා වුණේ අපේ පාසලේ සිසුවෙක්. මේ නිසා මමත් මට පුළුවන් තරමින් වෙහෙසවී පාඩම් වැඩ කළා. ‍මම ලංකාවෙන් ම දෙවැනියා බව දැන ගන්න ලැබුණේ රූපවාහිනී ප්‍රවෘත්තිවලිනුයි. නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාත්, 10-11 පන්ති භාර ගුරුතුමිය වන සමන්මලී රාජපක්ෂ මහත්මිය ඇතුඵ මට උගැන්වූ ගුරුතුමියන් සියලුදෙනාත් ලබා දුන් මඟ පෙන්වීම හා දිරිගැන්වීම මෙවැනි විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට විශේෂයෙන් ම ඉවහල් වුණා' යැයි ඔහු කීවේය.

සමල් පුන්සර සිසුවා කොළඹ ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ සේවයේ නියුතු ඖෂධවේදිනියක වන ඒ.එච්.එල්.ඩී. සමන්මලී මහත්මිය සහ කොළඹ මහජන බැංකු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයකු වන කේ.කේ.එන්.ප්‍රියන්ත මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතනුවන් ය. ඔවුන් පදිංචිව සිටින්නේ ඔරුවල ප්‍රදේශයේ ය. සමල් සිසුවා කොළඹ නාලන්දා විද්‍යාලයේ 1 වසරේ සිට අධ්‍යාපනය හදාරන අතර ඔහු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 161ක් ලබා සමත්ව සිටින සිසුවෙකි. සමල්ගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහු නිවුන් දරුවකු වීමයි. සිය නිවුන් සොහොයුරා වන සෙනල් පුන්සර ද නාලන්දා විද්‍යාලයේ ඔහුගේ ම පන්තියේ අධ්‍යාපනය ලබා ඇති අතර ඔහු ද විෂයයන් 9ට ම ඒ සමාර්ථ ලබා තිබීම විශේෂත්වයකි. බාල සහොයුරු බිනාල් මින්සර එම විදුහලේම 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. සොහොයුරා සමඟ එකට පාඩම් වැඩ කිරීමට ලැබීම මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට විශේෂ පිටිවහලක් වූ බවත් හෙතෙම සඳහන් කරයි.

මගේ පන්තියේ සිසුන් සියලුදෙනාගෙන් ම විශාල සහයෝගයක් ලැබුණා. ඔවුන් සියලුදෙනාම තරගකාරීව අධ්‍යාපනයේ නිරත වුණා. අවශ්‍ය සෑම විටම එකිනෙකාට උදවු වුණා. අවශ්‍ය විෂය කිහිපයකට පමණක් අමතර පන්තිවලට සහභාගී වුණා. කලට වේලාවට නිසි සැලැස්මක් අනුව පාඩම් වැඩ කිරීම මගේ ජයග්‍රහණයට හේතුවයි' යනුවෙන් ද ඔහු සඳහන් කළේය.


පළමු දස දෙනා අතරට එන බවට විශ්වාසය තිබුණා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන් ම තෙවැනි ස්ථානය සිසුවියන් දෙදෙනකුට හිමිව තිබෙන අතර එයින් එක් සිසුවියක වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්. මලීනා රත්නායක සිසුවියයි.

ලංකාවෙන් ම පළමු දස දෙනා අතරට පැමිණීමට හැකි වෙතැයි යන විශ්වාසය තමාට තිබූ බවත්, එහෙත් එය පීඩනයක් බවට පත් කර නොගෙන මුල පටන් පිළිවෙළකට පාඩම් වැඩ කිරීමත්, නිරන්තර අභ්‍යාසයන්හි නිරතවීමත් මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉවහල් වූ බව ඇය පැවැසුවාය. විභාගය ආසන්නයේ පාසලෙන් විභාගය ඉලක්ක කොට ගත් සම්මන්ත්‍රණ පැවැත්වූ හෙයින් ඒවාට ද සහභාගී වෙමින් විෂය කරුණු තව තවත් තහවුරු කර ගැනීමට කටයුතු කළ බවත් කීවාය.

ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ය. පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 166ක් ලබා දේවි බාලිකා විදුහලට ඇතුළත්ව තිබේ.

‍මගේ අම්මා ග්‍රේටා සිගේරා වෛද්‍යවරියක්. තාත්තා ප්‍රභාත් රත්නායක නෙස්ලේ සමාගමේ කළමනාකාරව‍රයෙක්. අම්මත් තාත්තාත් මට මට විශාල ශක්තියක් වුණා. විභාගය විශාල පීඩනයක් බවට පත් කළේ නැහැ. පාඩම් වැඩ කිරීමට හොඳ පරිසරයක් සකසා දුන්නා. මෙවැනි ප්‍රතිඵලයක් ලැබීමට එයත් විශාල පිටිවහලක් වුණා. විදුහල්පතිනිය වන ප්‍රදීපා සමරසිංහ මහත්මියත්, පන්ති භාර ගුරුතුමිය ඇතුළු මට උගැන්වූ සියලුම ගුරුතුමියන්ලාත් මගේ මේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා. අවශ්‍ය විෂය කිහිපයකට පමණක් උපකාරක පන්තිවලට සහභාගී වුණා. විදුහලේ බාහිර වැඩ වලටත් මම සහභාගී වුණා. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා අනාගතයේ වෛද්‍යවරියක් වීම මගේ අරමුණයි.


ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම ජයග්‍රහණයේ පදනමයි

කාලය නිවැරදි ලෙස කළමණාකරණය කැරගනිමින් ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව කටයුතු කිරීම තම ජයග්‍රහණයේ පදනම බව මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ තෙවැනියාවූ මහනුවර මහමායා බාලිකාවේ ඉන්දීවරී උමයංගනා කුමාරි රත්නායක සිසුවිය පවසයි.

දිවයිනේ තෙවැනියා හෝ ඊට ඉහළ ස්ථානයක් අපේක්ෂා නොකළද තමන් සෑමවිටම විශිෂ්ට ලෙස විභාගය සමත්වන්නේ යැයි සිහියේ තබාගෙන කාලය නිවැරැදි ලෙස කළමණාකරණය කැරගනිමින් විභාගයට සූදානම්වූ බවද ඇය කීවාය.

කටුගස්තොට ජම්බුහපිටිය ප්‍රදේශයේ පදිංචි ඉන්දීවරීගේ පියා වෘත්තියෙන් ආයූර්වේද වෛද්‍යවරයකු වන අනුර රත්නායකයි. ඉරේෂා රත්නායක මව වන අතර ඇය කටුගස්තොට සමුද්‍රදේවි බාලිකා විදුහලේ ගුරුවරියකි. ඇගේ එකම සොහොයුරිය මහනුවර මහමායා බාලිකාවේ 08 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියි.

පහවසර ශිෂ්‍යත්ව විභාගය ලකුණු 178 ක් ලබාගනිමින් සමත්ව ඇති ඉන්දිවරී දහම් පාසැල් හා ඉංග්‍රීසී භාෂා තරඟවලින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් හිමිකැරගෙන තිබේ.

බැට්මින්ටන් හා චෙස් ක්‍රීඩාවටද සමත්කම් දක්වන ඇයගේ එකම අපේක්ෂාව අනාගතයේ වෛද්‍යවරයකුවී රටට සේවය කිරීමයි.

මම පාසැලේ වැඩ එදාම අවසන් කළා. පසුවාදාට පාඩම් කරන්න ඉතිරි කරගත්තේ ඒ දවසේ වැඩ විතරයි. වැඩකල් දැමීමෙන් අපට කාලය කළමණාකරණය කිරීමේ හැකියාව අහිමිවෙනවා. විභාගයකදී කාලය ඉතාම වැදගත්. හොඳ ඉලක්කයක් ඇතිව වැඩ කළොත් මෙවැනි ජයග්‍රහණ ලැබීම අපහසු නැතැයි ඉන්දීවරී පවසයි.

මහමායා විදුහල්පති අයි. විතානාච්චි මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයේ නිවැරැදි මඟ පෙන්වීමත් දහම් පාසැල් අධ්‍යාපනයත් මෙම ජයග්‍රහණය ලැබීමට ප්‍රබල හේතුවක් වූ බවද ඇය කීවාය.