නීති කැඩූ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

sarath fonseka Maසුදුකොඩි සිද්ධිය ඇතුළු යුද්ධයේ සිදුවීම් පිළිබඳ පරික්ෂණ කිරීමට විදෙස් නිරීක්ෂකයන්ට හා උපදේශකයන්ට ඉඩ දියයුතු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10)ප්‍රකාශ කළේය.

යුද හමුදාපතිවරයා ලෙස තමන් නීතියට අනුව යුද්ධය කළ බවත් නීති කඩකළ අය වේනම් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ෆොන්සේකා මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැති විවාදයට සහභාගී වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ සාමාන්‍ය පවුලකින් යුද හමුදාවට එක්වී ක්‍රමානූකූලව උසස්වීම් ලබාගත් තමන් ඇතැමුන් මෙන් හමුදාවෙන් පැනගොස් අමෙරිකාවේ සැඟවී නැවත රටට පැමිණ කටමැත දෙඩුවේ නොමැති බවයි.

එමෙන්ම හිටපු පාලකයා හා හිටපු ආරක්ෂක ලේකම් තමන් යුද හමුදාපතිවරයා වූ ආකාරය ගැන විවිධ බොරු කියන බවත් නීතිය මෙරට සාමාන්‍ය පුරවැසියාට මෙන්ම රාජපක්ෂ පවුලට ද එක හා සමානව ක්‍රියාත්මක වියයුතු බව ද පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ‍ෆොන්සේකා මහතා:-

යුද්ධය කළ නායකයා ලෙස මම කියනවා යුද්ධය සම්බන්ධයෙන් පරික්ෂණ කළ යුතු බවට. ඒ සඳහා විදේශීය නිරික්ෂකයන්ට උපදේශකයන්ට ඉඩ දිය යුතුයි. සුදුකොඩි කතාවක් ගෙනත් එදා මාවත් අවුරුදු තුනහමාරකට සිරගෙට යැව්වා. සුදුකොඩි පරික්ෂණයත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේවා පිළිබඳ ඇත්ත නැත්ත ජනතාව දැනගත යුතුයි.