මානව නිදහස අවහිර කරන්නට ඉඩ තබන්නේ නෑ

president 07 manawaමානව නිදහස අවහිර කෙරෙන කිසිදු බලවේගයකට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රටේ පැන නැගී ඇති පාතාල කණ්ඩායම් මර්දනය කිරීමට ක්‍රියාකරන ලෙස ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට තමා උපදෙස් දී ඇතැයි ද ජනපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (06) පැවැති සුචරිත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

පාතාල කණ්ඩායම් මර්දනය කරන ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට තමා මීට දින කිහිපයකට පෙර උපදෙස් දුන් බව කී ජනපතිවරයා මේ සම්බන්ධයෙන් පාතාල මර්දනය කිරීමේ කටයුතු අකුරටම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තමා සමඟ පැවසූ බවද කීය.

දරුවන්ගේ යහපත් චර්යාධර්ම හා හික්මීම ඇති කිරිමට දහම් අධ්‍යාපනය ඉවහල් වන බව කී ජනපතිවරයා දහම් පාසල් ශිෂ්‍යයකු ලෙසත්, දහම් පාසලේ ගුරුවරයකු ලෙසත් තමා එය මැනවින් දන්නා බවද මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම 80 දශකයේ සිට තමා අභයාරාමයට පැමිණි බව සිහිපත් කළ ජනාධිපතිවරයා එහෙත් තමන් මෑත කාලයේ අභයාරාමයට පැමිණියේ වසර එකහමාරකට පසුව බවද වැඩිදුරටත් පැවැසීය.