යුද්ධයක් යළි ඇති නොවන රටක් බිහිකිරීමට කැප වෙනවා

colmaithripala sirisena112637539 3923785 11012016 arr gryදහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තහවුරු කරමින් යළි යුද්ධයක් ඇති නොවන රටක් බිහිකිරීමේ කාර්යයේ නිරත වෙමින් සිටින බව ඔස්ට්‍රියාවේ ශ්‍රී ලාංකිකයින් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ආගම් කුල භේදවලින් තොර සහජීවනයෙන් ජීවත්විය හැකි සමාජයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟෙමින් පවතින බව පෙරේදා (20) පැවසූ ජනාධිපතිවරයා ඔස්ට්‍රියාවේ ලාංකිකයින් අමතමින් මෙසේද පැවැසීය.

ඉතාමත් සතුටු වෙනවා මේ සුන්දර උදෑසන ඔස්ට්‍රියාව වැනි ලස්සන, ඉතා ඉහළ සංවර්ධනයක් ඇති රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වන ඔබ සියලු දෙනා හමුවී සුහදශීලීව යමක් පැවැසීමට ලැබීම පිළිබඳව.

අපි දින 05ක් පමණ රාජ්‍ය සංචාරයක යෙදී සිටිනවා. මුල් දින 03 ජර්මනියේ බර්ලින් නගරයේ සිට සියලුම රාජ්‍ය නායකයින් හමුවුණා. පෙරේදා සන්ධ්‍යාවේ වියානාවට පැමිණි අපි ඔස්ට්‍රියාවේ ජනාධිපතිතුමා ඇතුළු නිලධාරින් හමුවුණා. මේ දින දෙකේ දෙරට අතරේ ආයෝජන ප්‍රවර්ධන සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම සඳහා ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ ප්‍රධාන ආයෝජකයන්, ව්‍යාපාරකයින් හමුවී ඉතා සාර්ථක සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා.

දින 05ක රටවල් 02ක මෙම රාජ්‍ය සංචාරය ඉතා සාර්ථක සංචාරයක් කියා කියන්නට පුළුවන්. මේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අපි නැවත ලංකාවට යන්නේ බොහෝ දේ අපේ රටට රැගෙනයි. ඔබ සෑමදෙනාම ඔස්ට්‍රියාවේ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා. විවිධ වෘත්තිකයින්, ව්‍යාපාර කටයුතු, රාජතාන්ත්‍රික කටයුතු ආදී නොයෙක් කටයුතුවල ඔබ නිරත වී සිටිනවා. ඔබ කුමන ක්ෂේත්‍රයක සේවය කරත් අපි ඉතා සතුටු වෙනවා ඉහළම සංවර්ධනයක් ඇති රටක ඔබ කරනු ලබන සේවය පිළිබඳව. ශ්‍රී ලාංකිකයින් විදියට ලෝකයේ අනෙක් රටවල්වල සේවය කරන සෑම කෙනෙක්ම අපේ රටට ගෙන එන්නේ විශාල ගෞරවයක්.

ශ්‍රී ලාංකිකයින් ලෝකයේ කොහේ හෝ රටක තමාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, සිය පරිනතභාවය ‍ෙම් සියල්ල පෙන්නුම්කර සේවය කරනවා නම් එය අපේ රටට ඉතා ගෞරවයක්. ශ්‍රී ලාංකිකයින් විදියට අපිට තිබෙන ඓතිහාසික ඉතිහාසයක් තුළ පසුගිය දශක කිහිපයේ අපේ රට තුළ ඇති වූ සංවර්ධනයන් ව‍ෙග්ම අප මුහුණදුන් යුද්ධයත් සමඟ විවිධ බාධාවන් සහ ප්‍රශ්න පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා.

වසර 30ට ආසන්න කාලයක් කුරිරු යුද්ධය තුළ අප සියල්ලන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. නමුත් දැන් සිංහල, දමිළ, මුස්ලිම්, කතෝලික ආදී භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාව සෑම කෙනෙක්ම සතුටින් ජීවත්වන කාලයක් ගත කරන්නේ කියා මා විශ්වාස කරනවා. අපේ රට ලෝකයේ සංවර්ධිත රටවල් හා උසස් තත්ත්වයකට ගෙනඒමට නව තාක්ෂණික හා ශිල්පීය දැනුමත් සමඟ ආයෝජන තුළින් අපේ රට දියුණු කිරීම අවශ්‍ය වෙනවා.

අද ලෝකයේ කිසිම රාජ්‍යයක්, සංවිධානයක් ශ්‍රී ලංකාවට සතුරු නොවේ. සෑම කෙනෙක්ම ශ්‍රී ලංකාවේ මිතුරන්. මීට වසරකට පෙර රටේ පැවති තත්ත්වයත් අද තත්ත්වයත් ගත්විට ඔබ දන්නවා. ශ්‍රී ලාංකික ජනතාව මාව ජනාධිපතිවරයා විදියට පත්කර නව ආණ්ඩුවක් බිහි කළා. වසරක් වගේ කාල සීමාවක් තුළ අපි මුලින්ම කළේ අන්තර්ජාතික වශයෙන් අපෙන් වෙන් වී තිබූ ජාත්‍යන්තර මිත්‍රයින් හා ලංවීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝකයේ සංවර්ධනය වූ ප්‍රබල රටවල් සමඟ අද අපි ඉහළ මිත්‍රශීලීභාවයක් ගොඩනගාගෙන තිබෙනවා.

ඒ මිත්‍රශීලීභාවයේ ප්‍රතිඵලයක් ලෙස ඔබ ජීවත්වන ඔස්ට්‍රියාවට මා පැමිණියේ. ඔස්ට්‍රියාවේ ජනාධිපතිතුමා සහ රජය පළවෙනි වතාවට ශ්‍රී ලංක‍ාවේ රාජ්‍ය නායකයකුට ඔස්ට්‍රියාවට ඒමට ආරාධනා කළේ. එම අවස්ථාව මා හට ලැබීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් විදියට ඔබ සතුටට පත්වෙනවා කියා මා විශ්වාස කරනවා. අපි සැමවිටම බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ සෑම රාජ්‍යයකම සහයෝගය ලබාගෙන අපේ රට දියුණු කිරීමටයි.

පසුගිය වසරක කාලසීමාව අපි කරන ලද රාජ්‍ය සංචාරත්, ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්, නියෝජිතයින් සෑම කෙනෙක්ම අපිට සුභ පතමින් ආශිර්වාද කරමින් අපේ රට දියුණු කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ වනවිටත් අපිට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. අපේ රට සාමකාමී, නිදහස් සතුටින් ජීවත්වන මිනිසුන් සිටින රටක් ලෙස ගොඩනගන්න, ලෝකයේ නව තාක්ෂණික දැනුම අපේ නව පරපුරට ලබාදෙන්න අපි රජයක් විදියට කරන්නා වූ කාර්යයන් සඳහා ඔබ සෑම කෙනෙකුගේම සහයෝගය අපි ඉල්ලා සිටිනවා.

අපිට අවශ්‍ය වන්නේ, අපේ රටේ නැවත යුද්ධයක් ඇති නොවන විදියට රටේ සෑම කෙනෙකුටම විශ්වාසයෙන් බියක් සැකක් නොමැතිව ජීවත් වෙන්න, ආගම් කුල භේදවලින් තොරව සහජීවනයෙන් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමටයි. ඒ කාර්යය අප විසින් මේ වනවිට ඉටුකරමින් සිටිනවා. පසුගිය වසරෙහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය තුළ අපේ රටේ ජනතාවට අවශ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය තහවුරු කිරීම සිදුකළා. අවුරුදු 40ට වැඩි කාලයක් මැතිවරණ තුළින් සිදුවන වංචා දූෂණ හා අක්‍රමිකතා ඉවත් කිරීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවන්න අපට හැකිවුණා. මානව හිමිකම් ශක්තිමත් කරන්න නව මානව හිමිකම් කොමිෂන් සභාවක් පිහිටුවන්න පුළුවන්කම ලැබුණා. අල්ලස් හා දූෂණ පිටුදැකීම සඳහා මෙම කොමිෂන් සභාව වැදගත් වෙනවා.

අපේ රටට තිබෙන ප්‍රධාන අභියෝග දෙකක් ජයගැනීමට සියලූම ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය අපි ඉල්ලා සිටිනවා. එක් අභියෝගයක් තමා අපේ රටේ ජාතීන් අතරේ සංහිඳියාව ඇති කිරීම. අනෙක් කාරණය අපේ රටේ දුගීභාවය තුරන්කොට සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැගීම. මේ සඳහා නව රජය විදියට ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.

ඔබ සෑම කෙනෙකුටම මම සුභ පතනවා ආශිර්වාද කරනවා ඔස්ට්‍රියාවේ ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත වඩා යහපත් වී ශ්‍රී ලාංකිකයින් විදියට වඩා විශිෂ්ට ලෙස නැගී සිටීමේ හැකියාව ලැබේවායි කියා. යුද ස‍මයේදී අපේ රටේ තිබූ අයහපත් පරිසරය තුළ ජීවත්වීමේ අපහසුතාවය නිසා ශ්‍රී ලංකාවෙන් ලෝකයේ වෙනත් රටවල්වලට ගිය සෑම කෙනෙකුටම මම ආරාධනා කරනවා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්න ඔබේ දැනුම ඔබේ රට වෙනුවෙන් ආයෝජනය කර අපි ලෝකයේ විශිෂ්ට රටක් ලෙස ඉදිරියට යමු කියා.

අද මේ අවස්ථාව සංවිධාන කළ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමියටත් කාර්යය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. පැමිණි ඔබ සැමටත් ස්තුතිවන්ත වෙනවා.