සියලුම බර යහපාලන ආණ්ඩුවට දරන්න වෙලා

colimg 1514141324523 4034462 21022016 slm cmyපසුගිය රජය සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කර දැනට ප්‍රයෝජනයක් නොගන්නා ව්‍යාපෘතීන් තුළින් ආදායම් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා සාකච්ජා පවත්වා ඇති අතර ඒ වැඩපිලිවෙලට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ දායකත්වය හිමි වේ.

අගමැති වික්‍රමසිංහ මහතා පෙරේදා (20) හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පසුගිය රජය විසින් ඉදි කරන ලද මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, සම්මන්ත්‍රණ ශාලා මධ්‍යස්ථානය, සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය, පරිපාලන මධ්‍යස්ථානය සහ නව රෝහල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙහිදී මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව අගමැති වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයට යොමු වු අතර එය ඉදි කිරීම් කටයුතු කළ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු අමෙරිකන් ඩොලර් මිලියන 437 ක් මෙතෙක් ගෙවා නොමැති බව එහි නිලධාරීන් අගමැතිවරයාට දැනුම් දුන්නේය.

මහජන ප්‍රයෝජනයට නොගෙන සම්මන්ත්‍රණ ශාලාවේ විවෘත මණ්ඩපය අඩු මුදලකට කුලියට ලබා දෙන ලෙස අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදේස් ලබා දුන්නේය. ලාභ ලැබීම කෙසේ වෙතත් ණය මුදල් ගෙවා දැමීම සඳහා හෝ ආදායම් ලබා ගත යුතු බවත් නැති නම් එම මුදල් දැරීමට රජයට සිදු වන බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. ඉදිරි කාලය සඳහා කිසිදු වෙන් කිරීමක් මෙම මණ්ඩපයට ලැබී නොමැති අතර මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය පැවැත්වීමට මෙය ලබා දිය හැකි බවයි.

මෙම මණ්ඩපයේ පැනවිය හැකි ආසන සංඛ්‍යාව වනුයේ 1500කි. සති අන්තයේ කතරගම , යාල සහ තිස්සමහාරාමයේ චාරිකාවලට යන දෙස් විදේස් සංචාරකයන්ට නැරඹිය හැකි වන පරිදි සති අන්තයේ පැවැත්වෙන සංස්කෘතික සහ කලා සංදර්ශන සඳහා ඉතාම අඩු මුදලට ශාලා ලබා දෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ අද ඇනවුමක් ආවොත් විශේෂ මිල සහනයක් ලබා දෙන ලෙසයි.

හම්බන්තොට ප්‍රදේශයෙන් විදේස් ආයෝජකයන්ට කර්මාන්ත ශාලා ඉදි කිරීම සඳහා ලබා දිය හැකි ඉඩම් අක්කර 2000 ක් මෙහිදී හඳුනා ගැණුනු අතර නිවාස ඉඳි කිරීම සඳහා ද සුදුසු ඉඩම් හඳුනා ගැණිනි. මේ සඳහා අවශ්‍ය පානීය ජලය නිල්වලා ගඟෙන් ලබා ගැනීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද තීරණය කෙරුණු අතර ඒ සඳහා කොමිටියක් පත් කිරීමට දක්ෂිණ සංවර්ධන , නීතිය සහ සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාට මෙහිදී අගමැති වික්‍රමසිංහ මහතා උපෙදෙස් ලබා දුන්නේය.

උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවට සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා එහිදි පැලයක් රෝපණය කිරීමද සිදු කළේය.

මත්තල ගුවන් තොටුපල නිරීක්ෂණ චාරිකාව සිදු කරන අවස්ථාවේදී දැක ගැනීමට ලැබුණේ පාළුවට ගොස් තිබු ගුවන් තොටුපලය. තීරු බදු රහිත වෙළෙඳ සලවල්වල තට්ටු හිස්ව තිබූ අතර මත්පැන් බෝතල් කිහිපයක් පමණක් දක්නයට ලැබිණි. සූරියවැව ක්‍රිඩාංගණය ද පාළුවට ගොස් තිබිණි.

සැලැස්මක් නොමැතිව හම්බන්තොට ඉඳි කිරීම් සිදු කරනු ලැබු මෙම ව්‍යාපෘතින් පිළිබඳව තමන් විපක්ෂ නායකවරයාව සිටියදි දැඩි ලෙස විවේචනය කළ බව මතක් කළ අගමැති වික්‍රමසිංහ මහතා දැන් එම සියලුම බර දැරීමට සිදු වී ඇත්තේ යහපාලන ආණ්ඩුවට බව පැවසීය.

මෙම නිරීක්ෂන චාරිකාවට නිවාස සහ ඉඳිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සංවර්ධන උපාය මාර්ග ඇමැති මලික් සමරවික්‍රම, තිරසාර සංවරධන සහ වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, වරාය සහ නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග , ධීවර සහ ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර , නියෝජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහත්වරුන් සහ වනජීවි නියෝජ්‍ය ඇමැති සුමේදා ජි.ජයසේන මහත්මිය ද සහභාගි වූහ.