ලෝක තෙත් බිම් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

President08 1ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  අද (02) පෙරවරුවේ හලාවත, කාක්කපල්ලියේ පැවත්විනි.

මිනිසා ප්‍රමුඛ සියලූ ජීවින්ගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කිරීමේ සාමුහික වගකීම ඉටු කිරීමට සියලූ පාර්ශවයන් එක්විය යුතු බව මෙහිදී ජනාධිපතිතුමා පැවසිය.

ඔක්සිජන් බෑගය කරේ එල්ලාගෙන යාමට තරම් පරිසරය විනාශ කිරීමේ අයහපත් තත්ත්වයන්ට අද මිනිසාට මුහුණදීමට සිදුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පරිසරය රැක ගැනීමට සියලූ දෙනාට පැවරී ඇති යුගයේ වගකීම කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බවද කියා සිටියේ ය.

“තිරසාර ජීවනෝපායක් උදෙසා මතුපරපුර වෙනුවෙන් තෙත්බිම් සුරකිමු” මැයෙන් වැඩසටහන සංවිධානය කර තිබුණි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තෙත්බිම් ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම කෙරෙහි අද මුළු ලෝකයේම අවධානය යොමුව ඇති බවයි. එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද අද ඒ කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවද සොබාදහමේ අනගි නිර්මාණයන් ආරක්ෂා කර ගනිමින් පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වත්මන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවද පැවසීය.

සෑම වර්ෂයකම ලෝකයේ රම්සා සම්මුතියට අත්සන් කරන ලද රටවල් පෙබරවාරි 02 දිනයේදී ලෝක තෙත්බිම් දිනය සමරයි. ශ්‍රී ලංකාවේදී සෑම වසරකම පෙබරවාරි 02 වන දිනට යෙදෙන තෙත්බිම් දිනය රාජ්‍ය උත්සවයක් ලෙස සමරනු ලබයි.

තෙත්බිම්වලින් සිදුවන සේවාවන් හා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වූ දායකත්වය මූලික කොටගෙන 1971 වර්ෂයේදී ඉරානයේ රම්සා නගරයේදී රටවල් 60 ක පමණ සහභාගිත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවේදී තෙත්බිම් සංරක්ෂණ සම්මුතියට එළැඹුන අතර එය තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ රම්සා සම්මුතිය ලෙස හැඳීන්වෙයි. අද වන විට මෙම සම්මුතියට රටවල් 169 ක් පමණ අත්සන් තබා ඇති අතර ශ්‍රී ලංකාව වර්ෂ 1990 දී ඊට අත්සන් තැබීය.

තෙත්බිම් සිතුවම් 2016 දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහී චිත්‍ර නැරඹීමටද මෙහිදී ජනාධිපතිතුමා එක් වූ අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

තෙත්බිම් සමරු මුද්දරය එළිදැක්වීමද සිදු කෙරණු අතර එහි පළමු මුද්දරය තැපැල්පතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ,තෙත්බිම් අසිරිය, ග්‍රන්ථයේ තෙවන සංස්කරණය ඇතුළු ග්‍රන්ථ කිහිපයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

කඩොලාන පැල රෝපණය කිරීමට ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් එක් විය.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍යවරුන්වන පියංකර ජයරත්න, පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

10 09 07 06 01 02 03 05