ජනපති කොමිසමට වැඩි බලතල

commission1අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සභාපතිත්වය දරන බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පුළුල් බලතල පවරා ඇත. එම අතිවිශේෂ ගැසට් නිවේදනය වන්නේ පෙබරවාරි පළවැනි දිනැති අංක 1952/2 දරන ගැසට් නිවේදනයයි.

ඒ යටතේ කොමිසන් සභාව විසින් යම් තැනැත්තකුගේ තැනැත්තියකගේ ක්‍රියා කලාපය පිළිබඳව පරීක්ෂා කරගෙන යන විටදී ඔවුන්ට අදාළ බැංකු ගිණුම් විස්තර සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත පවතින තොරතුරු ලිඛිතව කොමිසමට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාවේ පිහිටි බැංකුවල කළමනාකරුවන්ට සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දීමක් අති විශේෂ ගැසට් පත්‍රය තුළින් සිදු කර ඇත.

අදාළ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පමණක් නොව ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, භාර්යාව දරුවන්ගේ බැංකු ගිණුම් විස්තර පවා කොමිසමට දැනුම් දිය යුතුය.

ඊට අමතරව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ සන්තකයේ හෝ පාලනය යටතේ පවතින ලේඛනවල සහතික පිටපත් ද කොමිසමේ අවශ්‍යතාවය මත ලබාදිය යුතුය.

කොමිෂන් සභාවට ලැබී ඇති පෙත්සම්වල ස්වභාවය අනුව පැවරී තිබෙන කාර්යභාරය ඵලදායිව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමා විසින් කොමිෂන් සභාවට මෙම බලතල පවරා දී ඇත.