ථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක්

01 therawadaථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක් බවත් මෙමඟින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට රජය මගින් නීතීපැනවීමක් කිසිසේත් සිදුනොවන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියෝ පවසති. මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහනාහිමිවරු ප්‍රමුඛ මහසංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ද උන්වහන්සේ පවසති.

භික්ෂු කතිකාවත පිළිබඳ මෙම දිනවල ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙතින් පක්ෂව හා විපක්ෂව මතුවෙමින් තිබෙන අදහස් සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කැරමින් මහනාහිමියෝ මේ බව ප්‍රකාශකැර සිටිති. ඒ ඒ භික්ෂු නිකායික හා පාර්ශ්ව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් රජය මගින් ලියාපදිංචි කිරීම පමණක් සිදුකැරන බව අවධාරණය කැරන මහනාහිමියෝ එසේ වුවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත වියයුතු ඇතැම් කරුණු මෙම පනත්වලට ඇතුළත් කැර තිබීම ගැටලු රැසක් පැන නැඟීමට හේතුවී ඇතැයි පවසති.

මෙම පනත පිළිබඳ අස්ගිරි මහ විහාර පාර්ශ්වීය කාරක සංඝ සභාව තවදුරටත් අධ්‍යයනය කැර රජයට අදහසක් ඉදිරිපත් කැරන බව ද අස්ගිරි මහනාහිමයෝ මෙම මධ්‍යය නිවේදනය මගින් ප්‍රකාශකැර සිටිති.