මිරිසුවිල් ඝාතනය: විත්තිකරුවෝ තිදෙනාම පෝරකයට

eeeeeeලේ තැවරුණු මෝල්ගස විසි කරන අයුරු යුද සෙබළා දුරදක්නයෙන් දැකලා

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට ඔහුට අයත් වෑන් රථය පැහැරගෙන යාමේ සිද්ධියට වරදකරුවන් වූ තිදෙනකුට යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා ඊයේ (18) මරණ දඬුවම නියම කළේය. 2006 වසරේ දෙසැම්බර් මස 13දා ඇති වු මේ සිද්ධියෙන් පසු ඝාතනය සඳහා යොදාගන්නා ලද ලේ තැවරුණු මෝල් ගස කුඩමීයන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කුඹුරකට විසි කළ අවස්ථාවේ එය දුරදක්න‍යකින් දුටු හමුදා සෙබළෙකු විසින් පළමු සැකකරු සහ ඔහු ගමන් කළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මිරිසුවිල් ප්‍රදේශයේ පදිංචි මුරුගේසු සත්‍යනාදන් නැමැත්තෙකි. එම ඝාතනයට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූයේ සූර්ය කුමාර් අජන්තන් නොහොත් අජිත්තන්, විග්නරාජා සෙල්වේන්ද්‍රන්, ශිවදාසන් නිශාන්තන් නොහොත් දිනේෂ් යන අයයි.

‍ෙමාවුන් තිදෙනා මිනීමැරීමේ ‍ෙච්තනාවෙන් යුතුව මේ පුද්ගලයා ඝාතනය කොට ඔහු සතු වාහනය කොල්ල කෑ බවට සැකයකින් තොරව තහවුරු වීම නිසා ඔවුනට මරණ දඬුවම නියම කරන බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කීවේය.

මෙම ඝාතකයින් තිදෙනාගෙන් පළමු වරදකරු වන සූර්යකුමාර් අජන්තන් නොහොත් අජිත්තන් නැමැත්තා යතුරුපැදියකින් පලායාමේදීත් සෙසු වරදකරුවන් දෙදෙනා මරණකරුගෙන් කොල්ලකන ලද වෑන් රථයෙන් පලා යන අවස්ථාවේත් අත්අඩංගුවට ගෙන තිබූ අතර මොවුන් ඝාතනයට යොදා ගත් මෝල්ගස හමුදා කඳවුර ආසන්න වෙල්යායකට විසිකරනු ලැබූවේ එම ඝාතනය හමුදාව පිට පැටවීමේ චේතනාවෙන් බවත් තහවුරු වී තිබිණි. මෙම නඩු විභාගයේදී සාක්ෂි දුන් හමුදා සෙබළ පල්ලියගුරු කියා සිටියේ යම් දෙයක් කුඹුරට විසිකර පලායන වාහනය දැක එය නතර කරලීමට මාර්ගයට දිව ගියා.

එහෙත් එය නතර කර ගැනීමට නොහැකිවුණා. එම වාහන දෙක ඉතා වේගයෙන් මා පසුකර ගියා. පලා ගිය යතුරුපැදිය හා හයිඑස් වෑන් රථය නතර කරන ලෙස එපිටින් පිහිටි සුට්ටිපුරම් හමුදා කඳවුරට වෝකි ටෝකි මඟින් දැනුම් දුන් බවත් එහෙත් වෑන් රථය එම ස්ථානය පසුකර තිබූ නිසා යතුරුපැදිය පමණක් නතර කිරීමට හමුදාව සමත් වූ බවත් ප්‍රකාශ කළේය.

ඒ සමඟ කුඹුරට විසිකරන ලද්දේ කුමක්ද යන්න කඳවුර පිටත සිටි හමුදාව යවා සොයා බැලු විට එහි ලේ තැවරුණු සහ හිසකෙස් ඇලී තිබුණු මෝල් ගසක් සොයා ගැනීමට හැකිවූයේ යැයිද වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී පලාගිය දෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවූ අතර ඔහු අතුරුදන්ව සිටියේය. අධිකරණය හමුවේ පාපොච්චාරණය කළ පළමු හා තෙවැනි විත්තිකරුවන් ප්‍රකාශ කළේ මේ ඝාතනය දෙවැනි විත්තිකරුවන් විසින් සිදුකළ බවත් වාහන ගනුදෙනුවක් සම්බන්ධ වචන හුවමාරුව දුරදිග යාමෙන් මෝල්ගසින් මරණකරුට පහර දුන් බවත් මෙයට වගකිව යුත්තේ දෙවැනි විත්තිකරු පමණක් බවත් ඔවුන් සඳහන් කළහ.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් ප්‍රකාශ කළේ මෙම නඩුවේ චුදිතයන් තිදෙනා වරදකරුවන් වන බවත් මොවුන් පොදුවේ මේ ඝාතනය සිදුකර ඇති බවත්ය. ඉන්පසු නිවසේ දොර අගුලු දමා ගිය බවද ඒ සඳහා භාවිතා කළ මෝල්ගස සැඟවීමට උත්සාහ කර ඇති අතර කොල්ලකන ලද වාහනය දෙවැනි සැකකරු අතේ තිබීමත් සමඟ මේ ඝාතනය සැලසුම් කළ එකක් බවට තහවුරු වු බවද කීවේය.

එබැවින් තිදෙනාම ඝාතනයට වරදකරුවන් වන අතර තිදෙනාටම මරණ දඬුවම නියම කෙරිණි. දෙවැනි විත්තිකරු වාහනය කොල්ලකෑමේ සිද්ධියටද වරදකරු වන හෙයින් ඔහුට පස් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද රුපියල් 10000ක දඩයක්ද නියම කෙරිණි.

අධිකරණය හමුවේ පෙනී නොසිටි අතුරුදන් වී සිටින දෙවැනි වරදකරුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට මහාධිකරණය නියෝග කරයි. එමෙන්ම මොහු දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙස කටුනායක ගුවන්තොටුපොළේ පාලකවරයාටද නියෝග කෙරිණි. මෙම මරණ දඬුවම නියම කරන අවස්ථාවේදී අධිකරණය සියලු විදුලි බුබුළු නිවා සියලුදෙනා නැගිට හිස නවා සිටින මොහොතක තීන්දුව ප්‍රකාශයට පත්කර තීන්දුව ලියන ලද පෑන කඩා දැමුවේය.