අද කළයුත්තේ දේශපාලන අවස්ථාවාදින්ගේ විවේචනවලට පිළිතුරු බදිමින් සිටීම නොව රට වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටු කිරිම බව ජනපති පවසයි

3 5රට අභ්‍යන්තරයේ කුමන විවේචන එල්ල වුවත් නව රජයේ වැඩපිළිවෙලට අද සමස්ථ ලෝකයේම ආශිර්වාදය හිමිව තිඛෙන බව ජනාධිපතිතුමා පවසයි.

එබැවින් අද කළයුත්තේ දේශපාලන අවස්ථාවාදින්ගේ විවේචනවලට පිළිතුරු බදිමින් සිටීම නොව රටත්, ජනතාවත් වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටු කිරීම බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් පොළොන්නරුව නගරයේ වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද (17) පෙරවරුවේ ආරම්භ කරමිනි.

“පිබිදෙමු පොළොන්නරුව” පස් අවුරුදු දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.

අද ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අත හිත ලබාදීමට ජාත්‍යන්තරයේ ඇත්තේ තරගකාරිත්වයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රජයේ යහපත් රාජ්‍ය පාලනය සහ මැදිහත් විදේශ පිළිවෙත ඊට ඉවහල් වී ඇති බවද කියා සිටියේය.

තම රජය අනුගමනය කරන නිවැරදි විදේශ ප්‍රතිපත්තී හේතුවෙන් අද සියලූ රටවල අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුව තිඛෙන බව පැවසූ ජනාධිපතිතුමා වසර 43 කට පසුව ජර්මනියේ නිල සංචාරයක් සදහා මෙරට රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු නිල ආරාධනය සනිටුහන් කරමින් ලබන මස ජර්මනියේ නිල සංචාරයක් සදහා තමාට ඇරයුම් ලැබී ඇති බවද කියා සිටියේය.

තවද ලෝකයේ දියුණු රටවල් රැසක නිල සංචාර සදහා ඇරයුම් ලැබී ඇති අතර පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද එම ආරාධනා සියල්ල ලැබුණේ තම ඉල්ලීම අනුව නොව එම රටවල රාජ්‍ය නායකයින්ගේ මිත්‍රත්වය නිසා බවද කියා සිටියේය.

මෙම සියලූ මිත්‍ර රාජ්‍යවල සහාය ඇතිව 2016 වසර ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ පරිවර්තනීය ආරම්භයක් සනිටුහන් කරන වසර බවට පත් කරමින් සංවර්ධන වැඩසටහන් රැසක් අරඹන බවද ජනාධිපතිතුමා පැවසීය.

සංවර්ධනය කිසිදු දිස්ත්‍රික්කයක ගබඩා නොකළ යුතු බවත්, එය සාධාරණ සහ සමබර ලෙස පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිතුමා සංවර්ධනයේ දෑත සියලූදෙනාට සාධාරණ ලෙස දිගු කිරීම දේශපාලනඥයින්ගේද වගකීමක් බව කියා සිටියේය.
රටේ අනෙකුත් දිස්ති්‍රක්ක සංවර්ධනයෙන් ඉදිරියට යන විට පොළොන්නරුව දිස්ති්‍රක්කයද ඒ හා සමගාමීව ඉදිරියට ගෙන යාම එහි ජනතා නියෝජිතයෙකු ලෙස තම වගකීම බව මෙහිදි පැවසූ ජනාධිපතිතුමා එදා තමා මන්ත්‍රිවරයෙකු, ඇමතිවරයෙකු ලෙස පොළොන්නරුව ජනතාවගේ ගැටලූවලට විසඳුම් ඉල්ලා ලිපි සිය ගණක් ලියූ බවත් එදා මෙදාතුර එම ජනතාවට සිදුවූ අසාධාරණය නිවරැදි කිරීමට කැපවී කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ද රාජ්‍ය නිලධාරිහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

4

5

6

8

10

2