හමුදා ජ්‍යෙෂ්ඨයෙකුගෙන් ප්‍රශ්න කෙරේ

prageethමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ හමුදා කඳවුරේ සිට වැලිකන්ද දක්වා ගෙන ගොස් එහිදී වෙඩිතබා ඝාතනය කර සිරුර අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධිඅංශවලට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම හමුදා නිලධාරියාට ඔහු යටතේ ඇති හමුදා නිලධාරීන් යොදවා එක්නැලිගොඩ මහතා රැගෙන ගොස් ඔහුගෙන් විවිධ තොරතුරු අනාවරණය කරගෙන අවසානයේදී ඔහු ඝාතනය කිරීමට නියෝග ලබා දුන්නේ කුමන පුද්ගලයාද යන්න හෙළිකර ගැනීම සඳහා මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කරනු ඇත.

පසුගිය රජය කාලයේ එක්නැලිගොඩ මහතා රැගෙන ගොස් මෙසේ ඝාතනය කිරීමට යම්කිසි සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බවද එම සැලසුමේ ප්‍රධානියා එවකට රජයේ ඉහළ තනතුරක් දැරූ පුද්ගලයෙකු බවටද රහස් පොලිසියට විවිධ ආකාරයේ තොරතුරු හෙළිදරව් වී තිබේ.

ගිරිතලේ යුද්ධ හමුදා බුද්ධි ඒකකයේ සිට වැලිකන්දට ගෙන ගොස් එහිදී ඝාතනය කර පසුව එක්නැලිගොඩ මහතාගේ මළසිරුර කිසිවකුටත් සොයා ගත නොහැකි වන පරිදි ත්‍රිකුණාමලයේ ඈත මුහුදට ගෙන ගොස් අතහැර ඇති බවට තොරතුරු ලැබී ඇතත්, එම තොරතුරු සත්‍ය වශයෙන්ම අනාවරණය කර ගැනීම සඳහා රහස් පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.

ගිරිතලේ කඳවුරේ සිට එක්නැලිගොඩ මහතා වැලිකන්ද වෙත ගෙනගොස් ඇත්තේ ඔහුට හිතවත්ව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් බවද ඔවුන් එවකට රජයේ බුද්ධි අංශ වලට තොරතුරු සපයන ඔත්තු කරුවන් බවටද තොරතුරු ලැබී ඇත.

එක්නැලිගොඩ මහතා ඔවුන් බුද්ධි අංශ ඔත්තුකරුවන් බව නොදැන ඇසුරු කර ඇති බවත් ඔවුන් සමඟ විවිධ දේ කතා බහ කර ඇති අතර ඒවා පටිගත කර ඔවුන් බුද්ධි අංශවෙත ලබා දී ඇති බවටත් ‍තොරතුරු හෙළිවී ඇත.

2010 වසරේදී එක්නැලිගොඩ මාධ්‍යවේදියා රාජගිරියේ දී පැහැරගෙන යාමක් නොව ඔහුට හිතවත්ව සිටි ඔත්තුකරුවන් විසින් ඔහු රවටාගෙන රැගෙන ගොස් මෙසේ ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුකර ඇත්තේ එවකට සිටි රජයේ ඉහළ තනතුරක් දැරූ පුද්ගලයාගේ නියෝගය මත බවටද රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේදී හෙළිදරව් කරගෙන තිබේ.

මේ වන විට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සහ කොටි ඔත්තුකරුවන් ඇතුළු 11දෙනා ලබන නොවැම්බර් මාසය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති රහස් පොලිසිය එම කාලය තුළ එක්නැලිගොඩ මහතාගේ ජීවිතය විනාශ කළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කරගෙන ඔහු අනතුරට ලක් කළ ස්ථානද විමර්ශනයට ලක්කර අවසන් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර දැනට අත්අඩංගුවේ සිටින එම සැකකරුවන් 11 දෙනා කාගේ හෝ ලැබුන නියෝගයක් මත මෙම අපරාධය සිදුකර ඇති අතර ඔවුන් ඒ පිළිබඳ තොරතුරුද හෙළි කර ඇති නිසා බොහෝ විට ඔවුන් එම සිද්ධියට අදාළව රජයේ සාක්ෂිකාරයන්විය හැකි බවත් එහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.