ගස්-වැලි-පස් සදහා නව චක්‍රලේඛයක්

15102015 130893846232642527 sjg cmyගස්, වැලි, පස් කැපීම සහ ප්‍රවාහනය ආදී කරුණු සම්බන්ධයෙන් අලුත් චක්‍රලේඛනයක් ඊයේ (15) සිට නිකුත් කැර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .

 ඊට එරෙහිවන්නට කිසිම දේශපාලන බලපෑමකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග කියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීවේය. සාමාන්‍ය පුද්ගලයෙකුට නිවසක්, ගොඩනැගිල්ලක් සකසා ගැනීමට එම චක්‍රලේඛනයෙන් කිසිම බාධාවක් නැතැයි කී ජනාධිපතිවරයා නව චක්‍රලේඛනයට අනුව කටයුතු කරන්නැයි තමා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙනුත් ප්‍රාදේශීය ලේකම්වරන්ගෙනුත් ඉල්ලීමක් කළේය.

 ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (15) පැවැති අනුරාධපුර දිස්ත්‍රික්ක විශේෂිත සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි .

 ජනාධිපතිවරයාගේ අදහසකට අනුව පැවැති ප්‍රථම දිස්ත්‍රික්ක විශේෂිත සම්බන්ධීකරණ කමිටු රැස්වීම පුරා හෝරා හතරක් අති සාර්ථක අයුරින් පැවැත්විණි.

පරිසරයට බරපතළ හානිදායක ලෙස පස්, ගල් කැඩීම මෙන්ම වැලි ගොඩදැමීම සහ ප්‍රවාහනය බරපතළ ප්‍රශ්නයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් අක්කර දහයක භූමියේ පදිංචිව සිටින අනවසර නිවාසලාභීන් ඉවත් කොට ඔවුන්ට විකල්ප ලබා දීමේ හැකියාව තමාට ඇතැයි කීවේය .

තමා පොලොන්නරුව දිස්ත්‍රික්ක රෝහල අවට සිටි අනවසර නිවාසහිමියන්ට වෙනත් ස්ථාන ලබාදෙමින් ඔවුන් ඉවත් කරීමට ක්‍රියා කළ බවත් එසේ ඉවත් කිරීම පිළිබඳ මැති ඇමැතිවරුගේ අදහස කුමක්දැයි තමා දැනගත යුතු බවත් ජනාධිපතිවරයා කීවේය.

අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, වනජීවි ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා, කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර, වාරිමාර්ග ඇමැති විජිත් විජිතමුණි සොයිසා, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, ජනාධිපති ලේකම් පී .බී අබේකෝන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වී සිටියහ.