දේශීය යන්ත්‍රණයට ජපානයේ සහාය

flag IIයුද ගැටුම් පැවැති සමයේ දී ශ්‍රී ලංකාවේ අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සිදුව තිබෙන බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෙරෙන දේශීය යාන්ත්‍රණය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව ජපාන රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවද එලෙස ශ්‍රී ලංකා රජයට දියහැකි සහයෝගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජපානයේ විශේෂ නියෝජිතයෙකු ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා ඒ බව සදහන් කෙළේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දී ඊයේ (13) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවැති කාලසීමාවේ සිදුවූ දෑ සම්බන්ධයෙන් මෙන්ම සත්‍යය සෙවීම වැදගත් වන බවත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක දේශීය යාන්ත්‍රණය සඳහා ජපාන රජයේ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවත්ය. ඒලෙස සහාය ලබාදිය හැකි අංශ සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන විශේෂ නියෝජිතයා මෙරට රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද ඒ මහතා සදහන් කෙළේය.

දිඟු කලක සිට ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ද්වීපාර්ශවික සගයෝඟය ඉතාම ශක්තිමත් බව සදහන් කළ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එම සහයෝඟීතාවය ඉදිරියටත් ශක්තිමත් අයුරින් ගෙනයාම අරමුණ වී තිබෙන බවද ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය සහයෝඟයක් ලබාදීමට සූදානම් බවද ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය යාන්ත්‍රණයට සහාය පිණිස අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව පසුගිය 30 දා ඒකමතිකව සම්මත වූ අතර ඡන්ද විමසීමකින් තොරව මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන රටවල් 47 පොදු එකගතාවයෙන් අදාළ යෝජනාව සම්මත විය.

අදාළ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව රටවල් කිහිපයක් විසින් පසුගිය 24 දා ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමට ප්‍රථම මානව හිමිකම් කවුන්සලයේ එක් එක් රටවල් අතර විවාදයක් පැවැතිණි.

අමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්සත් රාජධානිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ රාජ්‍යයන් ඒකාබද්ධව අදාළ යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව ඇතුළු රටවල් කිහිපයක් ඒ සඳහා සම අනුග්‍රාහකත්වය දැරීය. ඊට අමතරව ඉන්දියාව, රුසියාව ඇතුළු රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහාය පළ කෙළේය.