නිදහස් සෞඛ්‍යයත්, නිදහස් අධ්‍යාපනයත් වෙනුවෙන් වෙන් කරන මුදල ලබන අය වැයෙන් තවදුරටත් ඉහළ නංවන බව ජනපති පවසයි.

019 1140x1151මෙරට නිදහස් සෞඛ්‍යයත්, නිදහස් අධ්‍යාපනයත් වෙනුවෙන් වෙන් කරන මුදල ලබන අය වැය තුළින් තවදුරටත් වැඩිකිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

 මේ වන විටද නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජය වැඩි මුදලක් වෙන් කර තිඛෙන අතර රටේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් මෙන්ම රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නව රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ එක්වෙමිනි.

රුපියල් මිලියන 200 ක වියදමින් සියලූ පහසුකම් සහිතව මෙම නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකර තිබේ.

ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සුවිශේෂි දක්ෂතාවය ප්‍රකට කරමින් දින 50 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමද විශේෂත්වයකි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුටත් ප්‍රකාශ කළේ 2000 වසරේදී මීගමුව සහ ගම්පහ රෝහල්වල ඉදිකිරීම් ආරම්භකළ ගොඩනැගීලි නිසි ප්‍රමිතියකින් සමන්විත නොවූ නිසා ඇතිවීමට ගිය ඉතා ගැටලූසහගත තත්වයක් මීගමුව මහ රෝහලේ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත වීමත් සමග සමනය වී ගිය බවයි.

සෞඛ්‍යය, අධ්‍යාපන ඇතුළු සේවාවන්වලදී පළාත් සභාව සහ රජය ලෙස බෙදී වෙන්විය නොහැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මුල් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව සියලූ පාර්ශවයන් තම වගකීම් ඉටුකළයුතු බවද කියා සිටියේය.

1909 වසරේදී ආරම්භ කරන ලද මීගමුව මහ රෝහල 1950 දී පමණ මූලික රෝහලක් බවට පත් කෙරුණු අතර පළාතේ ජනගහණය වර්ධනය සේම කටුනායක වෙළඳ කලාපයේ සේවය කරන්නන්ගේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් 2005 වසරේදී එයදිස්ත්‍රික් මහා රෝහලක් බවට පත් කෙරිණි.

මීගමුව මහා රෝහල වර්තමානයේ වාට්ටු 18 කින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක් වන අතර විශේෂඥ වෛදවරුන් 24 දෙනෙකුගෙන් සමන්විතය. රෝහල් කාර්ය මණ්ඩලය 1200 ක් පමණ වේ.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා රෝහලේ නිරික්ෂණ චාරිකාවද නිරත විය.

නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

රෝහලේ ළමා වාට්ටුව සඳහා රෝගී ජෛව ලක්ෂණ පිරික්සුම් යන්ත්‍රයක් ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන්ට තිළිණද ප්‍රදානය කළේය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිසාන් ජයසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02

03

09