සුසන්තිකා ජයසිංහ ඇකඩමියට රජයේ පූර්ණ දායකත්වය

07102015 130886955553366527 svg cmyපහළොස්වසරකට පෙරාතුව මාතෘභූමිය වෙනුවෙන් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව ලබාගත් ඔලිම්පික් ජයග්‍රහණය තමා රටේ රාජ්‍ය නායකයා ලෙස අදටත් සමරනුයේ ගෞරව ප්‍රණාම පෙරදැරිව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (07) පැවැති සුසන්තිකා ජයසිංහ පදනම, ක්‍රීඩා ඇකඩමිය සහ මගේ කතාව නැමැති ඇගේ චරිතාප්‍රදානය ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි .

ඩන්කන් වයිට් නැමැති සුවිශේෂ ක්‍රීඩකයාගේ ඔලිම්පික් පදක්කමින් හැට වසරකට පසු මාතෘභූමිය රනින් සැරසු මෙම අභීත දිරිය දියණියගේ ජයග්‍රහණය භුක්ති විදීමට උත්සවයක් සංවිධාන කර තිබුණි .

ක්‍රීඩා අංග වලින් විචිත්‍රවත් වූ උත්සවය චාම් මෙන්ම අභිමානවත් අයුරින් පැවතුණි .

අලුතින් ස්ථාපිත කෙරෙන සුසන්තිකා ජයසිංහ ඇකඩමිය ක්‍රීඩාවේ උන්නතියට අත්‍යවශ්‍ය අංගයක් වන බවත් ඒ සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා කීවේය .

තමා ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර සුසන්තිකා ඇකඩමිය වෙනුවෙන් රජයේ පූර්ණ දායකත්වය ලබා දීමට තීරණයකට එළැඹි බවද ජනාධිපතිවරයා පැවසීය .

තමා හමුවීමට එන පිරිසෙන් සියයට අනූවක් පැමිණෙන්නේ තනතුරු බලාපොරොත්තුවෙන් බවද එහෙත් සුසන්තිකා ජයසිංහ මහත්මිය තමා හමුවීමට පැමිණ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඇකඩමියක් ආරම්භ කිරීමට අදහස් කර ඇති බව සඳහන් කළ බවත් තමා ඊට පූර්ණ ආශිර්වාදය සහාය ලබා දුන් බවත් ජනාධිපතිවරයා කීය .

තමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී සැලසුම් කළ කටයුතු සිදු කිරීමට නොලැබුණු බව හෙළි කළ ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාගේ තත්ත්වය ඊටත් අන්ත බව අනාවරණය කළේය .

තමා පැමිණි ගමන් මඟ කටු මාවතක් බවත් එහෙත් නොපසුබට උත්සාහයෙන් තමා එම අභියෝග හමුවේ ජයග්‍රහණය කළ බවත් ඔලිම්පික් පදකම්ලාභී සුසන්තිකා ජයසිංහ මළල ක්‍රීඩිකාව සඳහන් කළාය .

තමාට අහිමිවූ ඔලිම්පික් රන් පදක්කම අනාගත පරපුරට උරුම කැර දීමේ ඒකායන අරමුණ පෙරදැරිව ක්‍රීඩා ඇකඩමියක් බිහි කිරීමට තීරණය කළ බව ඇය ප්‍රකාශ කළාය .

තමා විදි දුක් කම්කටොළු, නින්දා අපහාස අවලාද අනාගත දරුවන්ට විදීමට දිය නොහැකි බවද එබැවින් තමා මේ වැඩපිළිවෙළ ඇරැඹීමට තීරණය කළ බවද සුසන්තිකා ජයසිංහ මහත්මිය කීවාය .

තමා වසර 1998 දී සුසන්තිකා ජයසිංහගේ පුහුණුකරු ලෙස පත්වන අවස්ථාවේදී ශ්‍රී ලංකාව පිහිටි ස්ථානය දැන නොසිටි බවත් එහෙත් ඇය වසර 2000දී ඔලිම්පික් ජයග්‍රහණය ලබා ශ්‍රී ලංකා කොඩිය අතැතිව ක්‍රීඩාගාරය පුරා දිවයද්දී ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව ගැන දැනගත් බවත් ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු ටෝනි කැම්බල් මහතා ප්‍රකාශ කළේය .

ඉතා දුෂ්කර ගමක ඉපදී සුසන්තිකා ලබා ගත් ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් ගෙන නැතැයිද එය පටන් ගැනීම සතුටට කරුණක් බවද හෙතෙම කීය .

සුසී සමඟ වැඩ කිරීම පහසු කටයුත්තක් නොවන බවත් ඇගේ නම්‍යශීලිබව ඉතා අඩු බවත් කැම්බල් මහතා කීය .

නමුත් අවසානයේ අපහසු එම අභියෝගය භාරගත් බවද තමා දක්ෂ පුහුණුකරුවකු ලෙස පැවසුවද තමා පවසනුයේ සුසී අතිදක්ෂ මලල ක්‍රීඩිකාවක් යැයිද කැම්බල් මහතා වැඩිදුරටත් පැවසීය .

පූජ්‍ය අතුරලියේ රතන හිමි, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, වරාය සහ නාවික කටුයුතු ඇමැති අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පවුලේ ඥාතීන්, ආරාධිත අමුත්තන් ඇතුළු අති විශාල පිරිසක් මේඅවස්ථාවට එක්වී සිටියහ .