කලාපයේ ඉහළම ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවෙන්

flag 3ගෙවී ගිය වසර පහක කාලයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ සියයට 7.5 ක්වූ ඉහළ ආර්ථික වර්ධන වේගය කලාපයේ හොඳම වර්ධනය බව පෝලන්තය ප්‍රකාශ කරයි.

ආර්ථික වර්ධනය අතින් ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාවට අවස්ථා රැසක් පවතින අතර එහිදී ආයෝජන කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතු බවද තම රට ඒ වෙනුවෙන් සහාය ලබාදීමට සූදානම් බවද පෝලන්ත විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස්සෙක් සොෂෙවිකා මහතා අවධාරණය කරයි. දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දී ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා - පෝලන්ත ව්‍යාපාරික සංසඳය සඳහා සහභාගි වෙමිනි. ඉන්දියාවේ පෝලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා - පෝලන්ත ව්‍යාපාරික සභාව සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව මේ ව්‍යාපාරික සංසඳය සංවිධානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ ආර්ථික වර්ධනය අතින් කලාපයේ ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාවට අවස්ථාවන් රැසක් නිර්මාණය වී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා බලාපොරොත්තුවෙන් පසුවන පෝලන්ත ව්‍යාපාරිකයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වන බවත්ය.

තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත ව්‍යාපාරික පිරිසක් පෝලන්තය නියෝජනය කරන බව පෙන්වාදුන් ඒ මහතා ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සොයා බලන බවද එම ව්‍යාපාරිකයන්ගේ සහයෝඟය ලබාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවද සදහන් කෙළේය.

පෝලන්තයේ හොඳ හවුල්කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන පෝලන්ත විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා භූගෝලීය වශයෙන් වැදගත් තැනෙක පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අවස්ථාවන් රැසක් පවතින බවද ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පෝලන්ත ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර මේ වනවිට ද්වීපාර්ශවික සහයෝඟීතාවය ඉතා හොඳ මට්ටමක තිබෙන බව සදහන් කළ ලෙස්සෙක් සොෂෙවිකා මහතා එය ව්‍යාපාරික, ආර්ථික, දේශපාලනික මෙන්ම සංස්කෘතික ආදී සෑම අංශයක් නියෝජනය වන බවද දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව වී තිබෙන බවද සදහන් කළේය.

මේ අවස්ථාවට සහභාගි වූ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ව්‍යාපාර කටයුතු ඉතා හොඳින් සිදුවන බවත් එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි දෙරටේම අවධානය යොමු වියයුතු බවත්ය. පසුගිය 2013 වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක අපනයන පෝලන්තයට සිදුකර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ග්‍රීන් ටී, රබර් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් පෝලන්තයට අපනයනය කරන බව පෙන්වාදුන් ඒ මහතා කඩදාසි, විදුලි උපකරණ, කෘෂි උපකරණ ඇතුළු නිෂ්පාදන පෝලන්තයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ පෝලන්ත නව කොන්සල් ජනරාල්වරයා වශයෙන් ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත්කිරීම ද මෙහිදී සිදුවිය.

පෝලන්ත තානාපති ටොමෑෂ් ලුකාෂුක්, ශ්‍රී ලංකා පෝලන්ත ව්‍යාපාරික සභාවේ උප සභාපති නෂ්වි හසන් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.