ඊළමට පාර කපන ජාතිවාදයට ඉඩ නොදෙනු

dontඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අමෙරිකානු එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව අද කොටි හිතවාදීන්ගේ මෙන්ම ජාතිවාදී බලවේගයන්හි විරෝධයටත්, මේ රට තුළ සැබෑ සාමයක් ඇතිකළ යුතුයි යන මතයේ පසුවන මානව හිතවාදීන්ගේ පැසසුමටත් ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය, කොටි සංවිධානයේ ව්‍යාප්තිය, අවසන් යුද සමය පිළිබඳව සංවාදයක් ඇතිකිරීම වැදගත් කොට සැලකිය හැකිය.

කොටි සංවිධානය ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්කිරීමට මුල්වූයේ කවුරුද? ඊට අවශ්‍ය පසුබිම ගොඩනඟා ඇත්තේ කවුරුද යන්න මෙහිදී මෙනෙහි කිරීම වැදගත්ය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට හඬක් නැඟීමට එදා එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් වඩුකොඩයිහිදී පැවැති දෙමළ මහ සම්මේලනය මුල්විය. එම සම්මේලනයට සහභාගි වූ ලෝක දෙමළ සංවිධානයේ නායකත්වයේ සිටි ජනාර්තන් කියා සිටියේ මේ රටේ ජීවත්වන දෙමළ ජනතාවට කිසිදු ආණ්ඩුවක් සමාන අයිතිවාසිකම් ලබා දෙන්නේ නැහැ. ඒ අයිතීන් උදෙසා දෙමළ ජනතාව අවි අතට ගෙන සටන් කළ යුතු බවය.

එලෙසින් ගොඩනැඟුණු මතය යථාර්ථයක් බවට පත්කර ගැනීමට කොටි සංවිධානයට නායකත්වය දුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් උත්සාහ කළේය. ප්‍රභාකරන්ගේ උත්සාහයට උපරිම අනුග්‍රහය දැක්වූයේ දකුණේ ජාතිවාදී කොටස් මෙන්ම තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන බලවේග බව පැහැදිලිව සඳහන් කළ හැක.

1983 වර්ෂයේ ඇතිවූ ජාතිවාදී කෝලාහලය කොටි සංවිධානය ශක්තිමත් කළ මුල්ම ක්‍රියාදාමය විය. දකුණේ දෙමළ ජනතාව‍ කොටි සංවිධානය කෙරෙහි විශ්වාසය පළකරන්නට වූයේ එම විනාශයත් සමඟය.

එතැන් පටන් සාමය සමාදානය, සහජීවනය, සංහිඳියාව යන වචනවලට ඉඩක් ලැබුණේ නැත. උතුරේ එම වදන්වලට හිමිවුණේ උණ්ඩයේ ප්‍රතිචාරයි. අමිර්තලිංගම්, නීලන් ‍තිරුචෙල්වම්, දොරෙයප්පා, සරෝජිනි, යෝගේෂ්වරන්, ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි ශ්‍රේෂ්ඨ නායකයින් කොටින්ගේ උණ්ඩයට බිලිවූයේ එම වදන් නිසාවෙනි.

දකුණේ එම වදන් භාවිතා කළ සැවොම කොටි හිතවාදීන්, ත්‍රස්තවාදයට අනුබල දෙන්නන් ලෙස හංවඩු ගැසිනි. ජාතිවාදය ඉතාම උත්සන්න ලෙස පතුරවමින් ආණ්ඩු පවා ඒ මතයට ගෙන ඒමට එම දකුණේ ජාතිවාදී බලවේග මුල්විය.

කොටි සංවිධානයේ පැවැත්මටත්, කොටි සංවිධානයට ජාත්‍යන්තර වශයෙන් අනුග්‍රහය ලැබීමටත් මුල්ව කටයුතු කෙළේ දකුණේ ජාතිවාදී බලවේග බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ඒ බව සනාථ කෙරෙන සාධකයක් ලෙස එක් උදාහරණයක් ඉදිරිපත් කළ හැකිය. එනම් කොටි සංවිධානය කිසිදු අවස්ථාවක දකුණේ ජාතිවාදී නායකයකු ඝාතනය කිරීමට පියවර ගත්තේ නැත. ඔවුන් සැම විටම ඉලක්ක කෙළේ ජාතික සමඟිය වෙනුවෙන් පෙනී සිටින අයට පමණි.

තමිල්නාඩුවේද මේ දෙමළ ජාතිවාදය පතුරවමින් ඒ හරහා බලයට පත්වීම එරට නායකයින්ගේ එකම අභිප්‍රාය විය. කරුණානිධි, ජයලලිතා ඇතුළු නායකයින් තමිල්නාඩුවේ පාලන බලය අත්පත් කර ගැනීමට කොටි හිතවාදී පිළිවෙතක් අනුගමනය කළහ.

මේ ආකාරයෙන් මක්කල් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් නායක වයි. කෝ හෙවත් වයි ගෝපාල්සාමි ප්‍රධාන පෙළේ කොටි හිතවාදියෙකි. ඔහු කොටි සංවිධානයේ ආරම්භක උපදේශකයෙකි. කොටි සංවිධානය ආරම්භක අවස්ථාවේ හොර රහසේ බෝට්ටු මගින් උතුරට පැමිණ ප්‍රභාකරන් හමුවී දින ගණනාවක් යාපනයේ පදිංචිව සිට ගිය අයෙකි.

තමිල්නාඩුවේ කොටි සංවිධානය වෙනුවෙන් වැඩිපුරම උද්ඝෝෂණ, උපවාස, විරෝධතා මෙහෙයවූ පුද්ගලයා ලෙසත්, එවැනි විරෝධතා දැක්වීම මත වැඩිපුරම අත්අඩංගුවට පත් පුද්ගලයා ලෙස වයි. කෝ හැඳින්විය හැකිය.

තමිල්නාඩුවේදී කොටින්ට අවි ආයුධ සැපයීම, මුදල් ඉපැයීම, ත්‍රස්තවාදීන්ට රැකවරණ දීම වැනි චෝදනා යටතේ අත්අඩංගුවට පත්වන අය මෙන්ම රජිව් ගාන්ධි ඝාතකයින්ව බේරාගැනීමටත්, ඉන්දියාව තුළ පනවා තිබූ තහනම ඉවත් කරවා ගැනීමටත් අධිකරණය හමුවේ පෙනී සිටියේද වයි. කෝ ය.

අවසන් යුද සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවට ජිනීවා මානව හිමිකම් කවුන්සලයට වැඩිපුරම යෝජනා ඉදිරිපත් කළ තමිල්නාඩු දේශපාලනඥයා ලෙස ඔහු නම් කළ හැකිය.

ඔහුගේ සටන් පාඨවලට අවශ්‍ය පසුබිම පසුගිය ආණ්ඩුව හා සම්බන්ධව සිටි ජාතිවාදී දේශපාලන බලවේග සකසා දුන් අතර දකුණේ එම දේශපාලන බලවේගවල ක්‍රියාදාමයන් මුල්කරගෙන මානව හිමිකම් කවුන්සලයත් ජාත්‍යන්තරයත් සිතුවේ මුළුමහත් ශ්‍රී ලංකාවේම වාසය කරන මහජාතිය ජාතිවාදීන් ලෙසය.

එම මුද්‍රාව ඉවත් කර ගැනීම ඉතා අසීරු කරුණක් විය. මේ නිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හිටපු මහ කොමසාරිස් නවනීදන්පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමට යෝජනා කළාය. ඊට රටවල් බහුතරයක සහාය ලැබිණි. ඒ සහාය ලබා දුන්නේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේය. ශ්‍රී ලංකාවේ කිසිදු ක්ෂේත්‍රයක් ගැන ඔවුනට විශ්වාසයක් නොතිබූ හෙයිනි.

නවනීදන්පිල්ලේ මහත්මියගේ ජාත්‍යන්තර විමර්ශනය එවකට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළත් එම විමර්ශනය බාහිරව සිදුකරනු ලැබිණි. ඒ සඳහා අවශ්‍ය සියලු සහාය උතුරේ දේශපාලන බල අධිකාරිය සපයා තිබිණි.

මේ බලවේගයන් පරාජයට පත්කිරීම අපහසු වුවත් පසුගිය ජනවාරි මස 8 වැනිදා පත්වූ යහ පාලන ආණ්ඩුව ජාත්‍යන්තරයේ එම මතවාදය කනපිට හැරවීමට හැකි වූයේ සැබෑ ලෙස ප්‍රායෝගිකව සංහිඳියාව කෙරෙහි රට තුළත් ජාත්‍යන්තරය තුළත් විශ්වාසය ගොඩනැඟීමට හැකි වූ නිසාවෙනි.

මෙය දකුණේත්, උතුරේත් සිටින සිංහල දෙමළ ජාතිවාදී බලවේගයන්ගේ විරෝධයට හේතු විය. රට තුළ සැබෑ සාමයක් ඇතිවුවහොත් ඔවුන්ගේ දේශපාලනය එතැනින් අවසන් වනු ඇතැයි ඔවුහු බිය විය.

කෙසේ වෙතත් මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ විවෘතභාවය මනාව තේරුම් ගත් ජාත්‍යන්තරය ජාත්‍යන්තර විමර්ශනය ජාත්‍යන්තර අධිකරණය වෙනුවට දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ඉදිරිපත් විය.

එය පරාජය කිරීමට අද කොටි හිතවාදී බලවේග ජිනීවා දක්වා පා ගමන් ආරම්භ කරමින් උද්ඝෝෂණ කරමින් විරෝධතා දක්වති. තමිල්නාඩුවේ කොටි හිතවාදී වයි.කෝ. සීමන් වැනි උදවිය විරෝධතා දක්වති. ඊට දකුණේ සමහර දේශපාලන බලවේග උඩගෙඩි දෙමින් කටයුතු කරති. එදා සමාජවාදය මුල්කරගෙන දේශපාලනය කළ සමහර බලවේග පවා අද ජාතිවාදයට නැඹුරු වී සිටීම කනගාටුවට කරුණකි.