කෙටුම්පත් යෝජනාවලිය

PrimeMinisterPresidentපසුගියදා නිකුත් කෙරුණු මානව හිමිකම් කවුන්සිලයේ කෙටුම්පත් යෝජනාවලිය ශ්‍රී ලංකාවට වඩාත් හිතවාදී යෝජනාවක් ලෙස පිළිගැනීමට පුළුවන. ලිහිල් යෝජනාවලියක් වශයෙන් එළි දැක ඇති එයින් ශ්‍රී ලංකාව සමඟ සුහදව ගනුදෙනු කිරීමට කවුන්සිලයේ ඇති කැමැත්ත සහ කැපවීම පෙන්නුම් කෙරේ. එකී ලිහිල් හා මිත්‍රශීලීබවට බලපා ඇති මූලික කාරණය 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් හා 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් පසුව ඇති වූ දේශපාලන වෙනස ‍ෙහ්තුවෙන් මෙරට මානව හිමිකම්, සිවිල් අයිතිවාසිකම් සහ අධිකරණ ක්ෂේත්‍රයේ සිදු වූ ප්‍රගතිය බව ඉතා පැහැදිලිය.

මානව අයිතිවාසිකම්වලට වැඩි වැඩියෙන් ගරු කිරීම සහ යහපාලනය හා ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය 2015 ජනවාරි මාසයෙන් පසුව ගන්නා ලද පියවර සතුටින් පිළිගන්නා බව සඳහන් කරන වාර්තාව අල්ලස, දූෂණය, වංචා, බලතල වැරැදි ලෙස පාවිච්චි කිරීම යන චෝදනා පිළිබඳ විමර්ශන පැවැත්වීම, එම විමර්ශනවල වැදගත්කම අවධාරණය කිරීම සහ දුර්විපාක බලපැවැත්වීම වැළැක්වීමෙන් තොරව යහපාලනයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න සතුටින් පිළිගන්නා බවද පවසයි. ගරුත්වයෙන් හා වෘත්තීය භාවයෙන් යුතුව යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ ආරක්ෂක හමුදා ඇතුළු සියලු පුද්ගලයන්ගේ කීර්තිය ආරක්ෂා වනු ඇති බව පිළිගන්නා බව සඳහන්ව තිබීම වාර්තාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. අධි ආරක්ෂක කලාප පිළිබඳ සමාලෝචනයට ලක් කර එම ඉඩම් නැවත ඒවා‍ෙය් නියම හිමිකරුවන් වූ සිවිල් ජනතාවට ලබාදීමට හා සිය ජීවනෝපායන් ආරම්භ කර නැවත සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා ජනතාවට සහය වීමට ගත් මූලික පියවර වාර්තාවේදී අගැයුමට ලක් කර තිබේ. 2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලය අතර පැවති ධනාත්මක අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වාර්තාවේ යහපත් බවට මූලික වශයෙන්ම බලපා ඇති බව සඳහන් වන අතරම අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක් ඇතුළත් කරමින් අතීතය පිළිබඳ කටයුතු කිරීම සඳහා විස්තීරණ ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගන්නා බවද සඳහන් වේ. බරපතළ අපරාධ සඳහා සියලු පාර්ශ්වවල වගවීම ප්‍රවර්ධනයටත් ප්‍රතිසන්ධානය ළඟා කර ගැනීමටත් යනුවෙන් වාර්තාවේ සඳහන් වන ජේදය වඩා වැදගත් වන්නේ ‘සියලු පාර්ශව’ යන්නෙන් එල්ටීටීඊ සංවිධානයටද බරපතළ අපරාධ සම්බන්ධ චෝදනාවලින් නිදහස් විය නොහැකි බව ඇඟවෙන බැවින් පමණක් නොවේ, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපචාර සඳහා වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අවශ්‍යතාවය හඳුනාගැනීම පිළිගෙන ඇති බවද වාර්තාවේ සඳහන් ය. සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය යාවත්කාලීන කිරීමට හා නීතිය සමාලෝචනය කිරීමට මෑතකාලීනව ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මින් පිළිගැනීමට ලක් කරන බව සඳහන් කරන වාර්තාව බලහත්කාර අතුරුදන්කිරීම් අපරාධ ලෙස සැලකීමටත් තාවකාලිකව සහය පියවරක් වශයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වලට ‘දක්නට නොමැති’ සහතික නිකුත් කිරීමට ආරම්භ කිරීමටත් ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගනු කැමති බව ද පවසයි. පූර්ව කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම සහ අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීම මඟින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ ඇති කැපවීම ද වාර්තාවෙන් අගැයීමට ලක් කර තිබේ.

_____________________________________________________________________________________________

මානව හිමිකම් කවුන්සලය

පෙරවදනට අදාළ ඡේද

පී.පී.1. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් යළි ප්‍රතිඥා දෙමින්, (මානව හිමිකම්: කවුන්සලයේ 25/1)

පී.පී.2. මානව හිමිකම් පිළිබඳ පොදු ප්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතය සහ වෙනත් විධිමත් ලේඛනවලින් මාර්ගෝපදේශකත්වය ලබාගනිමින්,

පී.පී.3. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු හා වගවීම පිළිබඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් 2012 මාර්තු 22 වන දිනැති අංක 19/2 දරන යෝජනාව, 2013 මාර්තු 21 දිනැති අංක 22/1 දරන යෝජනාව සහ 2014 මාර්තු 27 දිනැති අංක 25/1 දරන යෝජනාවන්ද නැවත සැලකිල්ලට ගනිමින්, (HRC25/1 යාවත්කාලීන කළ)

පී.පී.4. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමගිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇප කැප වන බවට ප්‍රතිඥා දෙමින්, (HRC25/1)

පී.පී.5 මුළු මහත් ජනතාවට සියලුම මානව හිමිකම් හා මූලික නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය එක් එක් රාජ්‍යය වෙත පැවරෙන වගකීමක් බවට ප්‍රතිඥා දෙමින්, , (HRC25/1)

පී.පී.6‍. 2015 ජනවාරි මාස‍ෙය්දී හා අගෝස්තු මාසයේදී පැවැති ඓතිහාසික නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන සතුටුවෙමින්.

පී.පී.7. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කරගැනීම හා ක්‍රියාවට නැංවීම මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත යුතුකම් වන ජාතික ප්‍රතිසන්ධානය හා සමගි සමෝධ්‍යාය ඇතුළුව, ප්‍රජාතන්ත්‍රික පාලනය හා ප්‍රධාන ආයතන ගැන ස්වාධීනව සොයා බැලීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව සැලකිල්ලට ගනිමින්.

පී.පී.8. මානව අයිතිවාසිකම්වලට වැඩි වැඩියෙන් ගරු කිරීම සහ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් 2015 ජනවාරි මාස‍යෙන් පසුව ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

පී.පී.9. අල්ලස් ගැනීම, දූෂණ, වංචා හා බලතල වැරදි ලෙස පාවිච්චි කිරීම පිළිබඳ චෝදනා පිළිබඳ විමර්ශන පැවැත්වීම, එම විමර්ශනවල වැදගත්කම අවධාරණය කිරීම සහ දුර්විපාක බලපැවැත්වීම වැළැක්වීමෙන් තොරව හා යහපාලනයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න සතුටින් පිළිගනිමින්.

පී.පී.10. කලින් ගැටුම්වලින් බලපෑමට ලක්වූ උතුරු හා නැගෙනහිර පළාත්වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීමත්, යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, බිම් බෝම්බ ඉවත්කිරීම හා අභ්‍යන්තරව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, මෙම ප්‍රයත්නයන්හිදී විශේෂයෙන්ම කටයුතු කඩිනම්කොට අභ්‍යන්තරව අවතැන් වූ සියලුදෙනාටම කල්පවතින විසඳුම් සලසාදීමෙහිලා එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ඉල්ලා සිටීමට ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්.

පී.පී.11. ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපචාරයන් පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනිමින්, ලිංගික අපරාධ සහ වධදීම් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් හා සිවිල් සමාජ සාමාජිකයින් පැහැරගැනීම, ඔවුන් කෙරෙහි එල්ලවන තර්ජන හා බියවැද්දීම් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිතවම කර ඇති ඇපකැපවීමේ සැලකිල්ලට ගනිමින් සිවිල් සමාජයේ සාමාජිකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සඳහා උදාකර දී ඇති යහපත් වාතාවරණය ගැන සතුට පළ කරමින් , (HRC25/1+ නව අර්ථකථනය)

පී.පී.12. ආගම්, විශ්වාස සහ වර්ගවාදය පිළිබඳ භේද ගැන නොතකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී හා ඒකීය භූමියක් තුළ මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම සඳහා ඇති අයිතිය ගැන නැවත ප්‍රතිඥා දෙමින්, , (HRC25/1)

පී.පී. 13. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරකදී රාජ්‍ය ජාත්‍යන්තර නීතිය පිළිබඳ බැඳීම්වලට, විශේෂයෙන් අදාළ වන පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර සරණාගතයන් පිළිබඳ නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදීන් පිළිබඳ නීතිය පිළිබඳ බැඳීම්වලට යටත් විය යුතු බවට නැවත ප්‍රතිඥා දෙමින් , (HRC25/1)

පී.පී.14. 2015 පෙබරවාරි 04 වන දින රජය විසින් කරන ලද සාම ප්‍රකාශය සම්බන්ධයෙන් හා සියලු ජාතිවල හා ආගම්වල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ හා ජීවිත හානියට පත්වූවන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් කරන ලද කටයුතු ගැන සතුට පළ කරමින්.

පී.පී.15. වගවීම තහවුරු කර ගැනීමත්, සාධාරණත්වය සලසාදීමත්, විපතට පත්වූවන් සඳහා පිළියම් සෙවීමත්, සමථයකට පත්කිරීමත්, ප්‍රතිසන්ධාන කටයුතු කිරීමත්, සමස්ත ආරක්ෂක පද්ධතිය ගැන ස්වාධීනව සොයා බැලීමත්, රජයේ ආයතන පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමත්, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතියට අනුකූලව නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමත්, ප්‍රචණ්ඩත්වය හා අපචාර නැවත සිදුවීමේ අවස්ථා ඇහිරීමත් සඳහා නෛතික හා නෛතික නොවන පියවර ගැනීම, පෞද්ගලික නඩු පැවරීම හා හානිපූර්ණයත්, සත්‍ය සෙවීම්, ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම, රාජ්‍ය සේවකයන් හා නිලධාරින් විශේෂ පරීක්ෂණයට භාජනය කිරීම හා එම කටයුතු නිසි ආකාරව කිරීම සම්බන්ධයෙන් සමවබෝධ ප්‍රවේශයක් ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරමින් , (HRC25/1)

පී.පී.16. පසුගිය කාලයේ සිදුවූ අපචාරයන් හා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සහන කටයුතු කරන ආයතන ස්වාධීන, අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු වනවිට, ඒවා ඉහළම නිපුණත්වයෙන් යුතු, අවංක හා අපක්ෂපාතී පුද්ගලයින් විසින් නිර්මාණාත්මක හා සහභාගිත්ව ක්‍රම අනුගමනය කරමින්, එනම් සියලුම ප්‍රදේශවල සියලුම ආගමික හා වාර්ගික කොටස් නියෝජනය කරන විපතට පත්වූවන්, කාන්තාවන් හා තරුණ තරුණියන්ගේ සහභාගිත්වය ඇතිව එහෙත් ඔවුන්ට පමණක් සීමා නොකොට සියලු දෙනා සාධාරණ සහයෝගිත­්වයෙන් සිදුකරනවිට එම යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වන බව පිළිගනිමින්.

පී.පී.17. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අයථා භාවිතය වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් හා විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියන් ස්ථාපනය කිරීම මඟින්, ගරුත්වයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ ආරක්ෂක හමුදා ඇතුළු සියලු පුද්ගලයන්ගේ කීර්තිය ආරක්ෂා වනු ඇති බව පිළිගනිමින්.

පී.පී.18. වරදට දඬුවම් ලබානොදීමේ යුගය අවසාන කිරීමේ අරමුණ සහිතව ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයෙහිලා සැලකෙන මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සඳහා වගකිව යුතු වන පුද්ගලයන්ට චෝදනා කිරීම සඳහා ඇති බැඳීම ඉටුකිරීම පිණිස රාජ්‍යයන්ට ඇති වගකීම සිහිපත් කරමින් (මානව හිමිකම් කවුන්සලය 25/1)

පී.පී.19. රජය විසින් පවරාගෙන තිබූ අධි ආරක්ෂිත කලාප පිළිබඳව සමාලෝචනයට ලක්කර, එම ඉඩම් නැවත ඒවායේ නියම හිමිකරුවන් වූ සිවිල් ජනතාවට ලබාදීමට හා සිය ජීවනෝපායයන් ආරම්භ කර නැවත සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා දේශීය ජනතාවට සහයවීමට රජය ගත් මූලික පියවර පිළිගනිමින්.

පී.පී.20. දේශපාලන බලතල බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක්කරමින්.

පී.පී.21. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇති හිතකර නිර්දේශ ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්.

පී.පී.22. 2015 මාර්තු 30 - අප්‍රේල් 03 අතර කාලය අතරතුර සිදුවූ සත්‍යය, සාධාරණත්වය, හානිපූර්ණය හා මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන බවට තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වාර්තාකරුගේ සංචාරය හා ඊට අදාළ නිරීක්ෂණ මෙන්ම නොවැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත බලාත්කාරයෙන් හා ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරය ද පිළිගැනීමට ලක් කරමින්,

පී.පී.23. ශ්‍රී ලංක‍ා‍ෙව් සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්, අයථා භාවිතයන් හා ඒ හා අදාළ අපරාධ සම්බන්ධයෙන් 25/1 මානව හිමිකම් කවුන්සල යෝජනාව මඟින් ඉල්ලා සිටි විමර්ශනය අවශ්‍ය වූයේ වගවීම පිළීබඳ විශ්වාසනීය ජාතික ක්‍රියාවලියක් නොමැති වූ නිසා බව හඳුනා ගනිමින්.

ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද

1. මානව හිමිකම් කවුන්සලයේ 27 වන සැසිවාරයේදී මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාව හා 25/1 මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය මගින් ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවේ සොයා ගැනීම් හා නිගමන ඇගැයීමට ලක්කිරීම හා සත්‍ය සෙවීම, සාධාරණත්වය, හානිපූරණය හා එවැනි සිද්ධීන් නැවත සිදුනොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේදී ඒවායේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවමින්,

2. 2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් මහකොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය අතර පැවති ධනාත්මක වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිගන්නා අතර, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිණිස සහ සත්‍ය සෙවීම සහ සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රියාවලීන්ට සහභාගිවීම පිණිස මෙන්ම ජාත්‍යන්තර සහාය ලබාදිය හැකි යෝග්‍ය ආකාරයන් සොයා බැලීම පිණිස ද එවැනි අන්තර් සම්බන්ධතා දිගින් දිගටම පවත්වාගෙන යා යුතු බවට දිරිමත් කිරීමට උත්සුක වෙමු.

3. සත්‍ය සෙවීමේ, සාධාරණත්වයේ, හානිපූරණ ක්‍රියාවලින්හී විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීමට සහාය ලබාදීමට ජාත්‍යන්තර විශේෂඥතා සහය හා විශිෂ්ට පරිචයන්ගෙන් ආභාෂය ලබාගනිමින්, මෙම ක්‍රියාවලීන් සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස් ලබා ගනිමින් බලපෑමට ලක් වූ සියලු ප්‍රජාවන්, වින්දිතයන් හා සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කරගනිමින්, පුළුල් ජාතික කතිකාවතක නියැළීම මඟින් මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවන බවට සහතික වීම සම්බන්ධව වන ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙමු.

4. අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක් ඇතුළත් කරමින් අතීතය පිළිබඳ කටයුතු කිරීම සඳහා විස්තීරණ ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගනිමු. ‍ෙම් සම්බන්ධයෙන් සත්‍යය, සාධාරණත්වය, ප්‍රතිසන්ධානය හා නැවත මෙවැනි සිදුවීම ඇතිවීම වළක්වාලීම සඳහා කොමිෂන් සභාවක්, අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් හා හානිපූරණය සඳහා කාර්යාලයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ආ යෝජනාව පිළිගැනීම, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා එම එක් එක් යාන්ත්‍රණයට නිදහස ලබාදීමට රජය දක්වන කැමැත්ත ද පිළිගන්නෙමු. එමෙන්ම මෙය පූර්ණ ලෙස හා විශ්වාසනීය ලෙස ඉටුකරනු ලැබුවහොත්, බරපතළ අපරාධ සඳහා සියලු පාර්ශ්වවල වගවීම ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රතිසන්ධානය ළඟාකර ගැනීමටත් එමඟින් සහාය සැලසෙනු ඇති බවත් විශ්වාස කරන්නෙමු.

5. ශ්‍රී ලංකා‍ව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපචාර සඳහා වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අවශ්‍යතාවය හඳුනා ගැනීම අපි පිළිගන්නෙමු.

6. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩනැංවීම සඳහා “වගවීම” අත්‍යවශ්‍ය බවට රජය විසින් හඳුනාගෙන තිබීම, පිළිගැනීමට ලක් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සිදුකරන ලදැයි පැවසෙන අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ පරිදි විශේෂ කවුන්සිලයක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කර ඇති යෝජනාව ඇගයීමට ලක් කිරීම;

 විශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් තුළ අවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන පවතින බවට සහතිකවීම සහ හෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, බලය ලත් අභිචෝදකයක් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක් ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක සහභාගිත්වය මේ සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වන බවට සහතික කිරීමට කැමැත්තෙමු.

7. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මඟින් ආවරණය කරන ලද කාල පරිච්ඡේදය ද ඇතුළත් වන සේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට අදාළව ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනාගෙන ඇති සාමාන්‍ය නීති මූලධර්ම යටතේ සියලු අපරාධවලට වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු විභාගයක් කර දඬුවම් ලබාදීම ද ඇතුළත් කරමින්, ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන ලෙස, සිය වගකීම් හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ මෙන්ම, 25/1 යෝජනාවලිය මඟින් දක්වා ඇති මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාවේ නිර්දේශ ද ඵලදායි ලෙස ක්‍රියාත්මක කළ හැකි බවට සහතික කෙරෙන අන්දමින් සිය දේශීය නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට ද කැමැත්තෙමු.

8. ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ද සඵලදායි ආකාරයට‍ හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා රජය දිරිගැන්වීම හා මානව හිමිකම් උල්ලංඝනය ‍හෝ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි සාධාරණ පරිපාලන ක්‍රියාවලියක් මඟින් චෝදනාවට ලක්වූ කිසිදු අයෙකු ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු ආරක්ෂක හමුදාවලට බඳවා ගැනීම හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කිරීම, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තේය.

9. සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය යාවත්කාලීන කිරීමට හා නීතිය සමාලෝචනය කිරීමට මෑතකාලීනව ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගැනීමට ලක්කිරීම හා සාක්ෂිකරුවන්, වින්දිතයන්, විමර්ශනයන්, අභිචෝදකයන් හා විනිශ්චයකාරවරුන් ඵලදායි ලෙස ආරක්ෂා කිරීමට අනුග්‍රහ සැලසීම මඟින් මෙම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට ද කැමැත්තෙමු.

10. ඉඩම් නැවත ලබාදීමට ගනු ලැබූ ආරම්භක පියවර ගැනීම සහ ඉඩම් එහි නියම හිමිකරුවන්ට නැවත ලබාදීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉඩම් භාවිතය හා හිමිකාරිත්වය අදාළව පවතින ඉදිරි කටයුතු නිරාකරණය කිරීම සඳහා විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීම, සිවිල් ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීම සඳහා තවදුරටත් කටයුතු කිරීමටත් රජය දිරිගැන්වීම සහ මෙම ප්‍රයත්න සඳහා සිවිල් සමාජ නියෝජිතයන්, සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ පූර්ණ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට කැමැත්තෙමු. (නව අර්ථකථනය - මානව හිමිකම් කවුන්සිලය 25/1)

11. පුවත්පත්වේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සුළු ජාතික කණ්ඩායම්වල සාමාජිකයන් හා සිවිල් සමාජයේ වෙනත් සාමාජිකයන් හා ආගමික ස්ථාන එල්ල කරමින් පුද්ගලයන් හා කණ්ඩායම් විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීමටත් එම ප්‍රහාරවලට වගකිවයුතු අපරාධකරුවන්ට ඒ සම්බන්ධ වගකීම පැවරීමටත්, අනාගත‍ෙය් දී එම ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට කැමැත්තෙමු. (මානව හිමිකම් කවුන්සිලය 25/1)

12. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර ඒ වෙනුවට ජාත්‍යන්තරව විශිෂ්ට යැයි සැලකෙන තත්කාලීන පරිචයන්ට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගන්නෙමු.

13. බලහත්කාර අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතියට අප්‍රමාදීව අත්සන් තැබීමට හා අපරාධ මතු කිරීමටත්, බලහත්කාර අතුරුදන් කිරීම් අපරාධ ලෙස සැලකීමටත්, තාවකාලිකව සහය පියවරක් වශයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වලට “දක්නට නොමැති” සහතික නිකුත් කිරීමට ආරම්භ කිරීමටත් ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගනු කැමැත්තෙමු.

14. පූර්ව කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම ද පිළිගනු කැමැත්තෙමු.

15. මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය, නීතිය කඩකිරීම් හා අයථා භාවිතයන්ට අදාළව රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල පවතින සියලු වාර්තා ලිපිලේඛන ආරක්ෂා කිරීම සඳහා විස්තීරණ සැලසුමක් හා යාන්ත්‍රණයක් සැකසීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට කැමැත්තෙමු.

16. අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීම මඟින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ ඇති කැපවීම පිළිගැනීම; ප්‍රතිසන්ධානය හා ජනගහනයේ සියලු කොටස් විසින් මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳින බව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වූවක් වන දේශපාලන බලය බෙදාහැරීම සඳහා ආණ්ඩුව දරන වෑයම දිරිමත් කිරීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභාවලට සඵලදායි ලෙස කටයුතු කළ හැකි බවට තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට ද කැමැත්තෙමු. (මානව හිමිකම් කවුන්සිලය 25/1 නව අර්ථකථනය)

17. වධහිංසා, දුෂණ හා ලිංගික අපරාධ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමට අදාළ සියලු ක්‍රියා තහනම් කර ඇති බවටත්, එවැනි උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව විමර්ශනයකොට, දඬුවම් ලබාදෙන බවටත් ආරක්ෂක අංශවල සියලු කොටස්වලට පැහැදිලිව උපදෙස් නිකුත් කිරීම සඳහා රජයේ ඇති කැපවීම පිළිගැනීම හා ලිංගික අපරාධ හා වධහිංසාවලට අදාළ සියලු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය දිරිමත් කිරීම ද,

18. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ හා ප්‍රතිසන්ධානයට, වගවීමට හා මානව හිමිකම්වලට අදාළ වෙනත් ක්‍රියාවලින් ක්‍රියාත්මක කිරීමෙහිලා දක්වන ප්‍රගතිය ඇගයීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස්දෙවන සැසිවාරයේ දී එම කටයුතුවල තත්ත්වය පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන මෙන්ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරයේදී වත්මන් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාකොට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටීමද,

19. ඉටුනොකළ ඉල්ලීම්වලට විධිමත්ව ප්‍රතිචාර දැක්වීම ඇතුළුව, විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් සමඟ අඛණ්ඩ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීම ද, (නව අර්ථකථනය - මානව හිමිකම් කවුන්සිලය 25/1)

20. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකඟත්වය ලබාගෙන, ඉහත කී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සඳහා මහකොමසාරිස් කාර්යාලය හා අදාළ විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් දිරිමත් කිරීමට කැමැත්තෙමු.