රටත් රණවිරුවාත් නිදහස් කරගත යුතුයි

patali1ව්‍යවස්ථාවට අනුකූලව පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකාවට හා රණවිරුවන්ට සිදුව තිබෙන කැලැල්වලින් නිදහස් කර ගැනීම කළ යුතු බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ලබන 30 වැනිදා කුමක් සම්මත කළත් ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ජාතික එකමුතුවක් නිර්මාණය කර ගත යුතු බවත් අවසාන තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගත යුතු බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

යහපාලන එත්සත් ජාතික පෙරමුණ කාර්යාලයේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ආක්‍රමණිකයා එල්ටීටීඊය බව පදනම් කරගෙන පරික්ෂණ සිදු කළ යුතු බව ද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී සම්මත වීමට නියමිත වාර්තාව අපි ආණ්ඩුවක් විදිහට පෙනී සිටින අයුරු පැහැදිලි කර ගත යුතුයි. මීට පෙරත් බැන් කී මූන් මහතා දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කළා. දැන් මාටියාඅපසාරි වාර්තාව මේ වන විට ඉදිරිපත් කර අවසන්. මේ වාර්තාවේ අන්තර්ගත කරුණුවලින් ශ්‍රී ලංකාවට නිත්‍යානූකූලව බලපෑමක් නැහැ. ජාත්‍යන්තර ආයතනවල විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ශ්‍රී ලංකාව විසින් වාර්තා සකස් කර තිබෙනවා. දරුස්මාන් වාර්තාව පසුව සී.ආර්.ඩි. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සත්‍ය ගවේෂණ වාර්තාව ඉදිරිපත් කළා. ඊට එල්ල වූ පීඩනය ඉදිරියේ උදලාගම කොමිසන් පත් කළා. අතුරුදහන් වූවන් ගැන සොයා බලන්න. ඒ වාර්තාවේ වැඩකටයුතු යන අතරේ මැක්වෙල් පැණගම කොමිසම පත් කළා. ඒ යටතේ බලතල වැඩි කළා යුද අපරාධ පිළිබඳ සොයන්න. ඒ වගේම පළමු වතාවට දෙමුහුම් යාන්ත්‍රණය ක්‍රියාවට නැංවූයේ මහින්ද රාජපක්ෂ මහතායි. මැක්වෙල් පරණගම කොමිසම පත් කරලා. ඒ කොමිසමට තාක්ෂණික සහාය ලබාදීම සඳහා එස්මන් සිල්වා, සර් ජෙෆ්රි නයිස් වැනි විදේශ විශේෂඥයන් හා එස්.ඒ.එස්. සංවිධානයේ හිටපු යුද විශේඥයකු වූ හෝම්ස් මහතාවත් ඒ කොමිසමට පත් කළා. ඒ අනුව පළමු දෙමුහුම් කොමිසම එයයි. එහි වාර්තාව අනාගතයේ එළිදැක්වීමට නියමිතයි. එහි අතුරු වාර්තාවක් ජනාධිපතිතුමාට ලබා දී තිබෙනවා. මේ සියලු වාර්තා පිළිබඳ අපි විමර්ශනය කළ යුතුයි. සමහරු අහනවා රණවිරුවන් ගැන ප්‍රශ්න කරන්න යනවාද කියලා. රණවිරුවන් දැනටත් ප්‍රශ්න කර ඉවරයි. යුද්දයට අණදුන් සියලු යුද ප්‍රධානීන් මැක්ස්වෙල් පරණගම කොමිසම ඉදිරියට කැඳවා අවසන්. ඒ අය කටඋත්තර ලබා දී අවසන්. ඒ නිසා රණවිරුවන් ප්‍රශ්න කරන්න යනවා කියා රට භීතියට පත් කරන්න අවශ්‍ය නැහැ. එය සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුර සොයා බැලීමකින් තොරව කරගෙන ගිය ක්‍රියාවලිය නිසයි. ඔහු විසින් පත් කළ එල්.එල්.ආර්. සී. වාර්තාව රටට බූමරංගයක් වුණා. මැක්ස්වෙල් පරණගම වාර්තාව පිළිබඳ අපි තවම දන්නේ නැහැ. දයාන් ජයතිල විසින් 2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කරන ලද යෝජනාව නිසා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීම නිසා එහි ප්‍රතිවිපාක දැන් අපි භුක්ති විඳිනවා.

ඒ වගේම මෙහිදී ජාත්‍යන්තර අපරාධ පිළිබඳ මූලධර්ම පැත්ත විමසිය යුතුයි. මේ යුද අපරාධ පිළිබඳ යම් කිසි ආකාරය නීතියක් සම්මත වුණේ 1908යි. කිසියම් හේතුවක් නිසා පළමු ලෝක යුද්දයේදී යුද අපරාධ පිළිබඳ විමසීමක් සිදු වුණේ නැහැ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව යුද අපරාධ පිළිබඳ විමසන්න නියොරම්බර්ග්වල හා ටෝකියෝ අධිකරණ ඇති කළා. නියෝරම්බර්ග් අධිකරණ ඉදිරියට ජර්මනියේ හා ඉතාලියේ නාසි හා පැසිස්ට් නායකන් ඉදිරිපත් කළා. ටෝකියෝ අධිකරණයට ජපානයේ පැසිස්ට් නායකයන් ඉදිරිපත් කළා. එහිදී තමයි පළමු වතාවට ජාත්‍යන්තර යුද අධිකරණයක ප්‍රතිපත්ති තීරණය වුණේ. එතනදී කරුණු හතරක් මත නාසි පැසිස්ට් නායකයන්ට නඩු පැවරුවා. පළමු කාරණ වුණේ, ආක්‍රමණය සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආක්‍රමණ කිරීම, දෙවන කරුණ වුණේ සාමයට එරෙහි අපරාධ, තුන්වන කරුණු වු‍ණේ යුද අපරාධයි. හතරවැනි කරුණ වන්නේ මානුෂිකත්වයට එරෙහි අපරාධයි. පළමු වතාවට යුද අපරාධ, මානුෂිකත්වයට එරෙහි අපරාධ වැනි ප්‍රධාන මූලධර්ම බවට පත්වුණා. නාසීන්ට එරෙහිව කටයුතු කරන්න. ඊළඟට 90 දශකයේ මුල්භාගයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයයේ මූලිකත්වයෙන් යුගොස්ලෝවියාව හා රුගන්ඩාව සම්බන්ධයෙන් විශේෂ අධිකරණ දෙකක් පිහිටුවනු ලැබුවා. මෙහිදී අවධාරණය කරන්න ඕන. අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එවැනි බලයක් නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කාටවත් විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැහැ. ඒක කරන්න පුළුවන් එකම තැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හෝ අන්තර්ජාතික අධිකරණය පමණයි. අන්තර්ජාතික අපරාධ අධිකරණ 2002 හේග් නුවර පිහිටුවා. එය මූලධර්ම තුනක් මත පදනම් කරගෙනයි පිහුටා තිබෙන්නේ. පළමුවෙනි මූලධර්මය අනුපූරක මූලධර්මයයි. එහි ඉතා පැහැදිලිව කියා තිබෙනවා යුද අධිකරණය පිහිටුවා තිබෙන්නේ අන්තර්ජාතික නඩු අහන්න නොවෙයි දේශීය වශයෙන් යම් යම් වශයෙන් අහන නඩුවලට ඌණ පුරණයක් හැටියට කරන්නයි කියා. හවුල්කාරී මුලධර්මය අනෙකයි. දැන් බොහෝ අය කියනවා කොටි නැහැනේ නඩු පවරන්න කියා. නමුත් මේ මූලධර්මය මත යුද අපරාධවලට සහයෝගය දුන් අයටත් දඬුවම් දෙන්න නඩු පවරන්න හැකියාව තිබෙනවා. අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අල්කයිඩාව එල්ල කළ ප්‍රහාරයේදී සියලුම දෙනා මිය ගියා. නමුත් හවුල්කාරී මූලධර්මය යටතේ එයට මුදල් සපයපු, උපදේශ දුන් අයට නඩු පැවරීමට කටයුතු කළා. ප්‍රභාකරන්, පොට්ටුඅම්මාන්, ටේපන්, සීලන් විදුෂා මියගියා කියා එල්ටීටීඊය මුදල් සපයපු, වාහන සපයපු, පෙනී සිටි නීතිවේදීන්ට ගැලවීමක් නැහැ. ඒ අයගේ මූලික අයිතිවාසික්ම ගැන කතා කරන්න බැහැ. ඊළඟට සංකීර්ණතා මූලධර්මයයි. ඒ යටතේ ව්‍යංගව සිදුවන වැරැදිවලට දඬුවම් ලබාදෙනවා. උදාහරණයක් විදිහට දඩමස් මිලදී ගන්නා පුද්ගලයාටත් නඩු පවරනවා වගේයි.

පළමුවෙන්ම අපි වටහා ගන්න ඕන කවුද ආක්‍රමණිකයා. කවුද ශ්‍රී ලංකා රාජ්‍යට එරෙහිව සටන් කළේ කියා. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු නීතිමය ව්‍යවස්ථාවක් සහිත රාජ්‍යයකට එරෙහිව කවුද සටන් කළේ. පැහැදිලිව එල්ටීටීඊ සංවිධානයයි. දෙවනුව කවුද සාමයට එරෙහිව කටයුතු කළේ. ඉතාම පැහැදිලියි. එල්ටීටීඊය තියෙන කාලේ පමණයි, ගැටුම් තිබුණේ. එහෙනම් සාමය කඩ කළේ එල්ටීටීඊයයි. ඊළඟට කවුද යුද අපරාධ කළේ. අද මේ පුදුමාතලන් ගැන කතා කරනවා. කොටි ඉන්න කාලේ දෙමළ ජනතා පමණක් නොවෙයි ලක්ෂ දෙසීයක් වෙච්ච ජනතාව හිටියේ ප්‍රාණ ඇපයේයි. මේ කියන සෑම කෙනෙකුගේම හිත ඇතුළේ බය තිබුණා. අද දෙමළ නායකයන්ට නිදහසේ කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ සාමය ඇති කළ නිසයි. අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, උතුරේ මහා ඇමැතිකම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ කොටි නැති නිසා තමයි. සාමයට එරෙහිව කටයුතු කර තිබෙන්නේත් කොටියි. මානුෂිත්වයට එරෙහිව කටයුතු කර තිබෙන්නේත් කොටි ත්‍රස්තවාදීනුයි. කවුද? ලක්ෂ තුනක් පුදුමාතලන්වල ගාල් කළේ. ආරක්ෂක හමුදාවද? නෑ කොටියයි. ඒ නිසා පැහැලිව වටහා ගන්න ඕන ආක්‍රමණිකයා එල්ටීටීඊ යයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කර තිබෙන්නේ ආක්‍රමණිකයාගෙන් රට ගලවා ගැනීමට ප්‍රතික්‍රියාවක් පමණයි. දෙවන පෙළ මට්ටමේ ක්‍රියාවක් පමණයි.

අද මාධ්‍ය ඔස්සේ සිදුවන්නේ රට බේරාගත් රණවරුවන්ගේ චරිත ඝතනය කිරීමයි. ඒක ඉතාම බරපතළ වරදක්. රට අද මෙතන තිබෙන්නේ ඔවුන් නිසයි.

දෙමුහුම් යාන්ත්‍රණ කිහිපයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට පිටතින් අපි නඩු අහන්න යනවාද? ඒ අන්තර්ජාතික නීති පද්ධතිය යටතේ නඩු අහන්න යනවාද? ඒකත් දෙමුහුම් යාන්ත්‍රණයක්. යුගෝස්ලෝවියාවේ සිදු කෙරුණේ එවැනි යාන්ත්‍රණයක්. එවැනි දෙමුහුම් යාන්ත්‍රණයකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ රටේ ව්‍යවස්ථාවේ සඳහන් ව තිබෙනවා අධිකරණ පිහිටුවන ආකාරය පිළිබඳව. කවර යාන්ත්‍රණයක් කවර පරීක්ෂණයක් ක්‍රියාත්මක කළත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි.

තව දෙමුහුම් යාන්ත්‍රණ විශේෂයක් තිබෙනවා. ලංකවේ අධිකරණවල විදේශීය නඩුකාරවරුන් පැමිණි පරීක්ෂණ පවත්වනවා. මෙහෙට එන සෑම විනිසුරුවරයෙක්ම ශ්‍රී ලංකාවේ ඒකීය භාවය රැකීමට දිව්රිය යුතුයි. අපේ විනිසුරන්ට පුළුවන් නම් අන්තර්ජාතික අධිකරණවල කටයුතු කරන්න පුළුවන් නම් ඇයි මෙය ක්‍රියාත්මක කරන්න බැරි. යම් යම් උපදේශ ගන්නව නම් කමක් නැහැ. පවතින නීතිය අනුව පරීක්ෂණය දඩුවම් දිය යුතුයි. මේ සඳහා ජාතික එකමුත්වක් අවශ්‍යයි. ජනතාව බිය වද්දන්න, ජනතාව විදේශවලට බිලිදෙන්න වුවමනා නැහැ. මේ පිළිබඳ අවසාන තීන්දුව ගන්නේ පාර්ලිමේන්තුයි. පාර්ලිමේන්තුවේ මේ ගැන එකමුතුවක් සම්මුතියක් අවශ්‍යයි. පසුගිය කාලයේ අපට උදව් කර රටවල් තිබුණා. එය මහින්ද රාජපක්ෂ මහත්තයට කළ පෞද්ගලික උදව් නොවෙයි. මේ රටට කළ උදව්. ඒ නිසා මෙහිදී එම රටවල් පාවාදීම කිසිලෙසකවත් සිදු නොකළ යුතුයි. ජනාධිපතිතුමගෙන් නිකුත් වෙයි මේ පිළිබඳ ස්ථාවරයි. කිසිවකුගේ ආත්ම ගරුත්වයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කරනවා. අපි මේ වගේ දේ දේශීය යාන්ත්‍රණය අනුව වැඩ කර තිබෙන බව පෙන්වාදී තිබෙනවා. මනප්පේරි ඝාතන සිද්ධියේ, 72 කැරැල්ලෙදී මැතිනිය අපරාධ යුකත්ති කොමිසන් සභාවක් පිහිටුවා නීතිය ක්‍රියාක්මක කළා. චෙන්මිනි මිනීවල, ත්‍රිකුණාමලය ළමා ඝාතන පිළිබඳ නීතිය ක්‍රියාක්ම කර තිබෙනවා.

පසුගිය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වුයේ තක්කඩි රැළක්. සජින් වාස් කියන ඩීල් කාරයට ඕන විදිහටයි විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වූයේ. විදේශ අමාත්‍යාංශය පාදඩ තිප්පලක් බවට පසුගිය කාලයේ පත් කර තිබුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණානම් අද රට විසාලාවක් වෙනවා. මේ වාර්තාවේ හමුදා නිලධාරීන්ගේ නම් ගම් නැහැ. 40,000ක ඝාතනයන් සඳහන් වෙලා නැහැ. සමූහ ඝාතන චෝදනා නැහැ.

කිසිම කෙනෙක් පිටරටදී අත්අඩංගුවට ගන්න දැන් බැහැ. ලෝකයේ ස්ථාවරත්වය දිනා ගෙන ආපනයන වෙළඳපොළ ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යා යුතුයි. අපි බලකඳවුරුවල කොයි පැත්තක් වත් නොගනෙ නොබැඳි ප්‍රතිප්තියේ කටයුතු කරමින් ඉදිරියට යා යුතුයි. ජී.එල්.පීරිස් මහත්තයා දැන් ලියනවා. එදා දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කළාම එතුමා බැන් කී මූන්ට ලියුමක් ලිව්වා ඉතා හොඳයි කියා. එවැනි දෙබඩි පිළිවෙළතක් තමයි එදා විදේශ ප්‍රතිපත්තිය කියා කළේ.

පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාළ මහත්මිය ඇතුළු හෙළ උරුමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.