ජී-එස්-පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගන්නවා – ජර්මානු විදේශ ඇමති

01 21 1140x1010ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බවත්, තමා නැවත ජර්මනියට ගිය පසු, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු විදේශ  අමාත්‍ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් මහතා පැවසීය.

 තම ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර, අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

දිගු කලක සිට ජර්මනිය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ලෝකයේ සෑම රටක් සමගම යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑම, ශ්‍රී ලංකා නව රජයේ විදේශ ප්‍රතිපත්තිය බව සඳහන් කළේය. ජර්මානු රජයේ වියදමින්  කිලිනොච්චියේ ඉදිවෙමින් පවතින වත්තීය පුහුණු පාසල ගැන සිහි කළ ජනාධිපතිවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී දියුණු තාක්ෂණය ඉහළ ප්‍රමිතියෙන් යුතුව භාවිතා කරන රටක් ලෙස, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික හැකියාවන් වර්ධනයට සහයෝගය දෙන ලෙස ඉල්ලීමක් ද කළේය.ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව තහවුරු කිරීම තම රජයේ වැඩපිළිවෙළ බව සඳහන් කළ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ද තම රජය කැපවෙන බව සඳහන් කළේය.

ජර්මානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට ආරාධනා කළ ජනාධිපතිතුමා, ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ද පොරොන්දු විය. ප්‍රජාතත්‍රන්වාදය තහවුරු කිරීම සහ සංහිදියාව අත්පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නව රජය ගෙන යන වැඩ පිළිවෙල පිළිබද ජර්මානු රජයේ ප්‍රසාදය, මෙහිදී ජර්මානු විදේශ අමාත්‍යවරයා විසින් පළ කරන ලදී.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජර්මනියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය කළ ආරාධනය මෙහිදී, ජර්මානු විදේශ ඇමතිවරයා විසින් දන්වා සිටි අතර ජනාධිපතිතුමා විසින් එම ආරාධනය පිළිගන්නා ලදී.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සී වාගීෂ්වර සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාර්ඩ් යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක් විය.