දේශද්‍රෝහීන්ගේ බොරු ප්‍රචාර - මලික්

Sinhala1409 2අගමැතිතුමාගේ ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුමට අත්සන් තබන බවට කණ්ඩායමක් ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා විශේෂ නිවේදනයක් නිකුත් කැර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. අගමැතිතුමන්ගේ ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් ලබා දෙමින්, පසුගිය මැතිවරණය හමුවේ කඩා වැටුණු තම දේශපාලන ප්‍රතිරූප පිම්බීමේ බංකොළොත් උත්සහයක දේශද්‍රෝහී පුද්ගල කණ්ඩායම් කිහිපයක් උත්සාහ ගනිමින් සිටිති.

පසුගිය ආණ්ඩු සමයේ මේ දේශද්‍රෝහී දේශපාලනඥයින් ලෝකයේ රටවල් සමඟ විවිධ ගිවිසුම් සහ එකඟතාවන්ට එළැ‍ඹුණේ රට වෙනුවෙන් නොවේ තම තමන්ගේ ආත්ම ප්‍රතිලාභයන් වෙනුවෙනි. හරිහමන් ගෙයක් දොරක් හෝ නොතිබුණු ඔවුන්ට මාළිගා තනන්නටත් , ඒ මාළිගා වෙනුවෙන් ලක්ෂ දෙක තුනක විදුලි බිල් මාසිකව ගෙවන්නටත් හැකියාව ලැබුණේ ඒ නිසාය. ජනතා මුදලින් ඔවුන් විඳි වරප්‍රසාද හා සුඛවිහරණ අහිමි වෙමින් යද්දී තව දුරටත් ජනතාව රවටමින්, වීරයින් ලෙස පෙනී සිටින්නට ඔව්හු උත්සාහ කරති.

එසේම තරුණ තරුණියන්ට රැකියා ලබාදීම හා සේවක සුබසාධනය නොතකමින්, පාලකයන්ගේ අනුග්‍රහයෙන් නීති විරෝධී ලෙස ව්‍යාපාරික කටයුතුවල යෙදෙමින්, තමන්ගේ පුද්ගලික සුඛවිහරණයට පමණක් මුල් තැන දුන් ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ද මේ දේශපාලනඥයින්ට මුදල් ලබා දෙමින් ජනතාව රැවටවීමේ ව්‍යාපාරයට අනුග්‍රහය දක්වති. ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අපි අවධාරණය කරමු.

නව ලෝකයේ ප්‍රවණතාවයන් අනුව රටවල් අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ ගිවිසුම් කරා එළැඹීම අරුමයක් නොවේ. නමුත් මේ සම්බන්ධව අප අලුතින් සිතා බැලිය යුතු ය. විශේෂයෙන්ම ඉදිරි ගිවිසුම් වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍රයනට පමණක් සීමා නොකොට, ආයෝජන, තාක්ෂණ, අධ්‍යාපන, කෘෂිකර්ම, කර්මාන්ත සංවර්ධන, සංස්කෘතික ආදී පුළුල්ල පරාසයන් කරා විහිදුවීම අපේ අභිප්‍රායයි. අපේ දේශය ඉහළට ඔසවා තබන, දේශීය ආර්ථිකය ගොඩනංවන, අපේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙන සංවර්ධන මාවතකට රට යොමු කළ හැක්කේ එවිට ය. අප ඉන්දියාව හෝ වේවා ලෝකයේ වෙනත් ඕනෑම රටක් සමඟ හෝ වේවා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධව ගිවිසුම්වලට එළැඹෙන්නේ ඉහත කරුණු පදනම් කරගෙන ය. එසේ නොමැතිව පසුගිය දශකය තුළ සිදු වූවාක් මෙන් දේශපාලනඥයන්ගේ පුද්ගලික ගිණුම් තර කරලීමේ අරමුණින් නොවේ.