පොදු සතුරා හඳුනා ගැනීම

 Sinhala1009”සතුරා කිසි විටෙකත් දුර්වල යැයි සිතන්න එපා. අඩුවෙන් තක්සේරු කර නො සලකා හරින්නත් එපා.”

මෙහෙම කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. තැන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයයි. එතුමා මෙම ප්‍රකාශය කළේ 69 වැනි එක්සත් ජාතික පක්ෂ සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පවත්වනු ලැබූ දේශනයේ දී ය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයේ සමුළුවක් ඇමතීම සඳහා යෑම ම ඓතිහාසික දේශපාලන සිදු වීමකි. ඊට හේතුව. ජනාධිපති මෛත්‍රීයනු යූ. ඇන්. පි.යට විකල්ප වූ ප්‍රධාන දේශපාලන ධාරාව වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා වීමය. එසේ ම එතුමා ප්‍රධාන යූ.ඇන්.පී. විරෝධී දේශපාලන පක්ෂ එකතුව වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද වත්මන් නායකයාය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයකුට සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩරනායක ශ්‍රීමතාණන් එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගන්නේ ම තමා සිටි පක්ෂයට විකල්ප වූ දේශපාලන ධාරාවක් පිහිටුවා ගැනීමට ය. එතැන් සිට මේ දක්වා ම මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරන්නේ මෙම පක්ෂ දෙක මගිනි. එදා මෙදාතුර වසර 64ක කාලයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයකු එක්සත් ජාතික පක්ෂයේ සමුළුවක් ඇමතීමට ගොස් නැත. එසේ ම මෛත්‍රීපාල සිරිසේන මහතා විටින් විට පක්ෂ මාරු කළ දේශපාලඥයෙක් ද නොවේ. ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නඟා ගන්නේ යූ.ඇන්.පියේ සිට පැමිණිලාය. එහෙත් මෛත්‍රීශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ පොදු අපේක්ෂකයකු ලෙස මිස එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙසින් නොවේ. එක්සත් ජාතික පක්ෂය කළේ ඔහු උදවු කිරීම පමණි. එ් උදවුව එසේ මෙසේ උදවුවක් නොවේ. එසේ ම එසේ මෙසේ පරිත්‍යාගයක් කැපවීමක් ද නොවේ.

‘එම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අපේ පාක්ෂිකයින් විශිෂ්ට සෙවයක් කළා, විශාල කැප කිරීමක් කළා.’

එදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයන්ගේ කැප කිරීම අගය කළේ එසේ ය. මෙහි දී පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා ජනවාරි 8 වැනි දා ලැබු ජයග්‍රහණයට ඔසවා තබන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එහෙත් මෛත්‍රී ජයග්‍රහණයෙන් පසුව වුව ද කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය වැලඳ ගත්තේ නැත. එහි සාමාජිකත්වය ලබා ගත්තේ ද නැත. ඔහු නැවත පියමනින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසටයි. නැතිනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙසටයි. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය බාර ගනී. පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයෙන් ඉවත් වී හොඳ ප්‍රජාතන්ත්‍රවාදී හුවමරුවක නිරත වේ. මේ නිසා මෛත්‍රී ජයග්‍රහණයෙන් පසුව වුව ද පක්ෂය මාරු කළේ නැති බව පැහැදිලිය. එහෙත් ඔහු නායකත්වයට පත් වන්නේ ඔහු පරාජය කිරිමට වෙහෙස මහන්සි වූ පිරිසගෙන් සමන්විත පක්ෂයකය.

එසේ ම, නම් ඔහු නායකත්වයෙන් ඉවත් වී පොදු අපේක්ෂක භූමිකාවකට පිවිසෙන්නේ ඇයි ? එය වෙනසක් උදෙසා ය. එම වෙනස යහපාලනය සඳහා වූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. ඊට ඔහු ලේකම් ධුරය දැරු පක්ෂය සූදානම් වූයේ නැත. ඊට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊට අනුබලයක් නොලැබීමයි. එවැන්නක් සඳහා ප්‍රතිපත්තිමය සටනක් ගෙනයාමේ ඉඩකඩක් ද ශ්‍රී.ල.නි.ප.ය තුළ නොතිබුණි. එහෙත් එක්සත් ජාතික පක්ෂය ඊට සූදානම් විය. එ් අනුව එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලේකම් ධුරය දැරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට වඩා ඉදිරිගාමීය. මේ නිසා සන්ධ­ානයෙන් එළියට පැමිණ වෙනසකට නායකත්වය දීමට සූදානම් කණ්ඩායම් සමඟ එතුමා එකතු වුණි. එම කණ්ඩායම් අතර සිවිල් සංවිධාන 40ක් පමණ විය. එ් අය එක්සත් ජාතික පක්ෂය සමඟ වෙනසකට ඇවැසි කථිකාවක් හා එකඟතාවයක් ගොඩ නඟා ගෙන තිබුණි.

එසේ නම් මේ සියල්ලට හතුරු වන්නේ කවුරුන් ද ? මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දැරූ කඳවුරයි. මෛත්‍රී එළියට පැමිණ පොදු අපේක්ෂකයා වන්නේ මේ සතුරු කඳවුරට එරෙහිවයි. ඔහු ජය ගන්නේ සතුරු කඳවුරේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් කරමිනි. එහි දී මහින්ද චීන්තන ඉදිරි දැක්ම තුන් වැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැවත සඳහන් කරන්නේ වසරක් ඇතුළත ප්‍රජතන්ත්‍රවාදී ප්‍රතිසංසකරණ සිදු කරන බවය. එහෙත් මෛත්‍රීපොදු අපේක්ෂක භූමිකාවට නායකත්වය දීමත් සමඟ ම මහින්ද කී දේ ජනතාව විශ්වාස කළේ නැත. ජනතාව කළේ මහින්ද පරාජය කිරීමය. එහෙත් මහින්ද පරාජයට පත් වුව ද යහපාලනයට එරෙහි සතුරු කඳවුරේ ප්‍රයන්තය පරාජය වී නැත. සතුරා අඩුවෙන් තක්සේරු නොකරන්නැයි ජනාධිපතිවරයා සඳහන් කළේ එ් නිසා දැයි කියන්න දන්නේ නැත.

මෙහි දී එතුමා සතුරු බලවේග දෙකක් ගැන සඳහන් කරයි. ඉන් එක් කදවුරක් වන්නේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට එරෙහි කඳවුරයි. පසුගිය ජනවාරි 8 වැනි දා පරාජය පත් කරන ලද්දේ මෙම කඳවුරයි. දෙවැන්න බෙදුම්වාදී මතවාදයන් කරපින්නාගත් ඊළාම්වාදී කඳවුරයි. 69 වැනි එක්සත් ජාතික පක්ෂ සමුළුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා එක්සත් ජාතික පාක්ෂිකයන් අමතා සඳහන් කරන්නේ මෙම කඳවුරු දෙකේ ම සිටින සතුරන් ගැනයි. වෙන විදිහකින් ඔහු සඳහන් කරන්නේ මේ සතුරන් පැය 24 පුරාම ක්‍රියාත්මක වියහැකි බැවින් ප්‍රවේසම් වන ලෙසය. නැත්නම් ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට කැපවෙන ලෙසය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී දේශපාලනයකට පිවිස සිටින්නේ ද ජනවාරී 8 වැනි දා ජයග්‍රහණය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගමන් කිරීමට බව ද පැහැදිලි ය. ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ නායකයා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සමුළුවක් අමතන්නේ ද එම සම්මුතිවාදී දේශපාලන අරමුණ වෙනුවෙන් බවට ද පැහැදිලිය.

‘මෙය තමයි අප විසින් තේරුම් ගත යුතු නව දේශපාලන සංස්කෘතිය. අපි ඉටු කළ යුතු හා ගොඩ නැගිය යුතු දේශපාලන සංස්කෘතිය. ජාතික ආණ්ඩු සංකල්පයක් මත අපි සියලූ දෙනාම එකතු වී සිටිනවා සේම ඉහළින් තිබෙන එකතුව එනම් ජනපති අගමැති එකතුව එසේ ම ඇමැති මණ්ඩලය තුළ තිබෙන එකතුව ගමටත් යා යුතු බවයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ.’

යනුවෙන් සඳහන් කරන ජනාධිපතිවරයා පක්ෂ දෙකේ ම අය මීට ඉහත ගෙනගිය සටන්කාමි හා ඇන කොටගත් අතීතය මතක් කර දීමට ද පසුබට වන්නේ නැත.

‘ගෙවිගිය දශක පහත 6ක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම උද්ඝෝෂණ පිකටින්වල දී මේ පක්ෂ දෙකේ පාක්ෂිකයන්ගේ ජීවිත කොතෙක් විනාශ වුණා ද වෙඩි තැබීම් බෝම්බ ගැසීම්, පිහිඇනුම් කොපමණ සිදු වුණා ද මේ දෙපාර්ශ්වය මොනතරම් එවැනි සටන්වල මුහුණ දී තිබුණා ද මොන තරම් දේපල හානි කර ගත්තා ද ගෙවල් කොපමණ ගිනි ගත්තා ද එවැනි අපකීර්තිමත් තත්ත්වයන් මේ බෙදීම තුළ අපේ ඉතිහාසයේ තිබෙනවා.’

යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කරන්නේ දෙපාර්ශ්වයේ ම කළු අතීතය අමතක කර අභියෝගාත්මක වර්තමානය ජය ගැනීමට සම්මුතිවාදි දේශපාලනයකට පිවිසෙන ලෙසයි. එය නායකයන් දෙපළගේ එකමුතු වෙන් හෝ කැබිනට් මණ්ඩලයේ තනතුරු බෙදා හදා ගැනීමෙන් පමණක් ඉටු නොවන බව පැහැදිලිය. එ් සඳහා පාක්ෂිකයින් ද දැනුවත් විය යුතය. එ් අනුව එතුමා සිරි කොතට සම්මුතිවාදයේ පනිවුඩය රැගෙන පැමිණි බව පැහැදිලිය. මෙහි අරමුණ එය සාමාන්‍ය ජනයා අතරටම කාන්දු කිරීමයි. හෙට දවසේ අලූත් රටක් හැදිමට නම් මේ අවබොධය අත්‍යවශය.

වර්තමානයේ කඳවුර බෙදී යන්නේ සම්ප්‍රදායික ලෙස යු.ඇන්.පී. ශ්‍රී ලංකා හෝ යු.එන්.පී. විරොධී අයුරින් නොවේ. සමහරු වරද්දා ගෙන තිබෙන්නේ මේ දේශපාලනයයි. එම දේශපාලන අද යල් පැන ගොසිනි. අද කඳවුර බොදෙන්නේ යහපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ ද, සම්මුතිවාදයට පක්ෂ ද, එ්කීය ශ්‍රී ලංකාවක් තුළ ජාතික සමඟියට පක්ෂ ද නැද්ද යන අයුරිනි. මෙම නව බෙදීම ඇරඹුණේ පසුගිය ජනවාරි 8 වැනි දා ජයග්‍රහණයක් සමඟ ය. මීට විරුද්ධ කඳවුර උතුරේ මෙන්ම දකුණේ ද සිටී. උතුරේ මහ ඇමැති විශනේශ්වරම්, ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පරාජිත ඩයස්පෝරා නියෝජිතයන් හා එල්.ටී.ටී.ඊ බෙදුම්වාදීන් සිටින්නේ මේ කඳවුරට විරුද්ධවය. එසේ ම උතුරේ ජනතාව ප්‍රතික්‍ෂේප කර තිබෙන්නේ ද මේ පිරිසම බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලවලින් පැහැදිලි විය.

දකුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම අද පෙනී සිටින්නේ ද ගොඩ නැගෙන නව දේශපාලන සංස්කෘතියට එරෙහිවය. එ් නිසා මේ දෙපිරිසට එකම කාසියේ දෙපැත්තකි. මේ මොහොතේ ඔවුහු පරාජිතයෝ වෙති. එහෙත් සටන් අත්හැර නැත. පහළ මට්ටමින් පාක්ෂිකයෝ උසිගන්වමින් මේ පරාජිකයෝ තම දේශපාලනය යළි පටන් ගැනීමේ අනතුර තිබේ. නව විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ පත්වීමට එරෙහිව දකුණේ මතු කිරීමට උත්සාහ ගන්නා හඬ හා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් විග්නේශ්වරම්ලා උතුරේ ගෙනයන හඬ මිට හොඳ උදාහරණයකි. මේ දේශපාලනය බිම් මට්ටමේ සිට තේරුම් ගැනීම ජනවාරි 8 වැනි දා ජයග්‍රහනයට උරදුන් අයගේ මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ වගකීමක් වනු ඇත. මේ සම්බන්ධයෙන් එ් අයට අලූතින් කල්පනා කිරීමට සිදු වේ.

එසේ ම තනියම ආණ්ඩුවක් ගොඩනැගීමෙන් තොරව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙවන් සම්මුතිවාදී දේශපාලනයට පිවිසියේ මන්ද යන්න පිළිබද එම පාක්ෂිකයනට අලූතින් සිතීමට සිදු වේ. නව දේශපාලන සංස්කෘතිය ගොඩ නැගෙන්නේ එසේ අලූතින් කල්පනා කරන ජනතාව සමඟය. එම කල්පනාව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයනට පොදුය. ඔවුනට ද අලූතින් කල්පනා කිරීමට හා නව නායකයාගේ දර්ශනයට හුරුවීමට සිදු වේ. එසේ වන්නේ නම් සම්මූතිවාදී ආණ්ඩුවේ ඇමැතිධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සම්බන්ධයෙන් කට්ටිවාදී ලෙසින් කල්පනා කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැත.

මේ වන විට එම පක්ෂයේ කණ්ඩායම් දෙකක් නිර්මාණය වී තිබෙන බව පෙනේ. එක් කණ්ඩායමක් සම්මුතිවාදී ආණ්ඩුවකට පක්ෂය. අනෙක් කණ්ඩායට විපක්ෂය. විපක්ෂ කණ්ඩායමට සැබවින්ම නායකත්වය දෙන්නේ නුගේගොඩ කල්ලියේ නායකයන් බව පෙනෙයි. පසුගිය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැද මාවතේ දේශපාලනයෙන් වෙනස් කරන ලද්දේ මෙම කල්ලියයි. පසුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතු මන්ත්‍රීධුරවලින් කොටසක් කඩා ගැනීමට ඔවුහු සමත් වුහ. එය ඔවුන්ගේ ජයග්‍රණයකි. එසේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් පරාජය කිරීමට ද මේ පිරිස පසුබට නොවුන. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට පටු ජාතිවාදී මඩ ගොහොරුවෙන් මිදී නැවත කල්පනා කිරීමට සිදු වේ. එසේ කල්පනා කරන විට ජනාධිපතිවරයා සඳහන් කරන හතුරා දේශපාලන වශයෙන් හඳුනාගත හැකි ය. මේ නිසා සතුරා හඳුනා ගැනීමේ දැනුවත් භාවය කාටත් පොදු ය.