ජනතා හරසර මැද අගමැති දළදා සමිඳු වැඳ පුදා ගනී

23082015 130847942768405758 slm cmyඅග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමට මහනුවර දළදා මාලිගාවට ඊයේ (23) පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිලමේවරු විසින් පිළිගෙන රතු පලසක් මතින් දළදා මැදුර වෙත කැඳවාගෙන යනු ලැබීය.

උඩරට මුල් ඇඳුමින් සැරසුණු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිලමේවරු දළදා මැදුරේ වාහල්කඩ අසලදී අගමැතිවරයාව පිළිගත් අතර මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුද සහභාගි වූහ.

දළදා මාලිගාවට පැමිණි අගමැතිවරයාට සුබපතන්නට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටි අතර ඔවුන් රතු පලස දෙපස රැඳී සිට ඒ මහතාට සුබපැතුම් එක් කළහ.

දළදා සමිඳුන් උදෙසා පුෂ්පෝපහාර පැවැත්වීමෙන් පසු අභිනව අගමැතිවරයා ලෙස ශ්‍රී දළදා මාලිගාවේ සටහන් පොතේ සමරු සටහනක් තැබූ අගමැතිවරයාට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඇත් රුවක් සහිත සමරු තිළිණයක් පිළිගැන්වීය.

මෙම අවස්ථාවට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා එජාප සභාපති මලික් සමරවික්‍රම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.