ව්‍යාපාරිකයාට අවශ්‍ය නිදහස උපරිමයෙන් සහතික කරන බව ජනපති පවසයි

0111 1140x927ව්‍යාපාර ක්ෂේත්‍රයේ සියලූදෙනාට රටේ නීති රීතිවලට යටත්ව නිදහසේ තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඇති අයිතිය උපරිමයෙන් සහතික කරන බව ජනපති පවසයි.

 රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයාගේ සිට මහපාරේ රඹුටන් විකුණන වෙළෙන්දා දක්වා සියලූ ව්‍යාපාරිකයින්ට දේශපාලන බලපෑම්වලට යටත්වීමට සිදුවූ යුගය වත්මන් රජය නිමා කළ බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (05) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති 2015 ආර්ථීක සමුළුවේ සමාප්ති උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සමුළුව මෙරට ප්‍රධාන පෙළේ ආර්ථීක හමුවකි. දින දෙකක් පුරා පැවති සමුළුව සැසි අටකින් සමන්විත වූ අතර ,අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් කරා, යන්න මෙවර එහි තේමාව විය.

දේශපාලඥයින් විසින් ව්‍යාපාරිකයින් පාලනය කිරීම හෝ ව්‍යාපාරවලට බලපෑම් කිරිම කිසිසේත් සුදුසු නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ රටේ ජනතාව පසුගිය ජනවාරි 08 වනදා රටට නව වෙනසක් ලබා දුන්නේ එම සියලූ ක්ෂේත්‍රවලට අවශ්‍ය පරිවර්තනයන් ලබාදීමට බවද ප්‍රකාශ කළේය.

ව්‍යාපාරිකයාට පමණක් නොව විනිශ්චයකරුවාට නිදහසේ නඩු ඇසීමට ඇති අයිතියත්, රාජ්‍ය නිලධාරියාට, පොලිසියට නිදහසේ තම රාජකාරී ඉටු කිරීමට ඇති අයිතියත් රටේ සමස්ථ පොදු මහ ජනතාවට සතුටින් තම කටයුතු කරගෙන යාමේ නිදහසත් වත්මන් රජය තහවුරු කළ බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් භාවිතා කරමින් තමා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් තැබු බලාපොරොත්තු කිසිදු අයුරකින් කඩ නොකර ඉදිරියට ගෙන යාම තම අපෙක්ෂාව බවද පැවසූ ජනාධිපතිතුමා එම ගමන ශක්තිමත් කළ හැකි සුදුසු ආණ්ඩුවක් තව සති දෙකකින් එළැඹෙන මහ මැතිවරණයෙන් තේරි පත්වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

තමන් කරන කටයුතු විනිවිද භාවයකින් සහ පාරිශුද්ධ භාවයකින් යුතුව සිදු කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බවද මෙහිදි පැවසූ ජනාධිපතිතුමා දේශපාලන බලය තිඛෙන අය තම බලය කළමණාකරණය කළ යුත්තේ රටේ සංවර්ධනයට සහ පොදු ජන යහපතට මිස රට විනාශ කිරීමට නොවන බවද සදහන් කළේය.

වත්මන් රජය අනුගමනය කරන මධ්‍යස්ථ විදේශ පිළිවෙත තුළ අද ජාත්‍යන්තරයේ බොහෝ රටවල සහය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත්, එම රටවල් සමග එළැඹ ඇති ගිවිසුම් තුළින් ජාත්‍යන්තර වෙළදපළ තුළ පුළුල් ඉඩ ප්‍රස්ථා රැසක් ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා එහි උපරිම ඵල නෙළා ගන්නැයිද මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, උප සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මීට එක්ව සිටියහ.