මාස හැටකින් අලුත් රටක්

23072015 130821228891255296 sse cmy 0ආර්ථික දියුණුව, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ අධ්‍යාපනය ඉහළ නැංවීම තුළින් එක්සත් ජාතික පෙරමුණ මාස හැටකින් අලුත් රටක් සෑදීමේ පංචවිධ ක්‍රියාවලිය ඊයේ (23) එළිදැක්විණි.

මෙම ක්‍රියාවලියේ ආර්ථික වැඩපිළිවෙළට පාදක වී ඇත්තේ දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මහජනතාවට සාධාරණ සමාජ ප්‍රතිලාභ ලබා දීම සහතික කෙරෙන අතර මෙම වෙළෙඳපොළ ආර්ථිකය මගින් විවෘත ආර්ථිකයේ පදනම පුළුල් කෙරේ.

ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය මගින් රැකියා දසලක්ෂයක් ඇති කෙරේ. ඒ වැඩසටහන ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය බලතල රජයට පවරා දෙන සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කෙරේ.

දේශීය නිෂ්පාදනවලට ගෝලීය වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සඳහා කුඩා ව්‍යවසායකයින් ජාලගත කර සමාගම් සහ සමුපකාර තුළින් ‍ගෝලීය වෙළෙඳපොළට අනුබද්ධ කිරීමෙන් තරගකාරී විදේශීය සමාගම්වලට මෙරට අවස්ථාව ලබා දීමක් සිදුකෙරේ. නැගෙනහිර ආසියාවේ සංවර්ධන කලාපවල යටිතල පහසුකම්වලට සහ සේවාවන්ට සමාන වන සේ රටපුරාම ආර්ථික සංවර්ධන කලාප 45ක් ආරම්භ කෙරේ. මේවන විටත් එම කලාප හඳුනාගෙන ඇති අතර ඒවා

  • *කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධනය
  • *සංචාරක සංවර්ධනය
  • *කෘෂිකාර්මික සංවර්ධනය
  • *ධීවර ආර්ථික සංවර්ධනය යටතේ ස්ථාපිත කෙරේ.

ගමට රටක් තේමාව යටතේ දේශපාලන නියෝජිතයින්ගෙන් තොර ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500ක් ස්ථාපිත කෙරෙන අතර අංග සම්පූර්ණ ග්‍රාමීය වෙළෙඳපොළ ආර්ථික ඒකක ඇතුළත් පොකුරු ගම්මාන 2500ක් ඉදිකෙරේ.

මේ යටතේ

  • *ගමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය
  • *ගැමි කාන්තා සංවර්ධනය
  • *ගොවිජන සංවර්ධනය සිදු කෙරේ
  • ගොවිජන සංවර්ධන යටතේ
  • *ගොවීන්ට අයත් කෘෂි ව්‍යාපාර පිහිටුවීම
  • *වී අස්වනු මිලට ගැනීම සඳහා ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ අධිකාරියක් පිහිටුවීම
  • *පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදනය සඳහා දිරිමත් කිරීම
  • *පරිසර දූෂණය අවම කරවීම සඳහා විකල්ප බලශක්ති විභව උත්පාදනය දිරිමත් කිරීම සිදු කෙරේ.

දේශපාලන කරුණු මත සමෘද්ධි අහිමි කර ඇති සියලුම දෙනාට සමෘද්ධි දීමනාව නැවත ලබා දේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ව්‍යාපාර ප්‍රවර්ධන මණ්ඩලයක් ආරම්භ කෙරේ.

තරුණ සංවර්ධනය වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකටම තරුණ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ.

ආරක්ෂක හමුදාවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ කාර්යභාරයට උරදෙන අතර නව මෙහෙවරක් වශයෙන් එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට දායකත්වය ලබාදෙමින් ඉන්දීය සාගරයේ මුහුදු මාර්ගවල ආරක්ෂාව වෙනුවෙන් කලාපීය මානුෂික මෙහෙයුම්වලට දායකත්වය ලබාදෙනු ඇත.

ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් උදෙසා රාජ්‍ය සේවා වගකීම් අධිකාරියක් ස්ථාපිත කෙරේ.

පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා නීතියක් ‍හඳුන්වා දේ. ජීවන තත්වයට සරිලන අවම වැටුප ජීවන වියදම් දර්ශකයට අනුව සකස් කෙරේ.

පංච විධ ක්‍රියාවලියේ දෙවැන්න වනුයේ දූෂණ මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියයි.

  • *දූෂණය මුලිනුපුටා දැමීමේ දීර්ඝකාලීන සහ තිරසාර උපායමාර්ග සම්පාදනය කෙරේ. අධිකරණය සහ පොලිසිය ඇතුළු රාජ්‍ය පාලනයේ සියලු අංගෝපාංග දූෂණයට එරෙහිව බලගැන්වේ.

නව පොලිස් පනතක් සම්මත කෙරේ. කාන්තාවන් සහ ළමුන් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් ස්ථානවලට කාන්තා නිලධාරීන් පත් කෙරේ. පොදු ප්‍රවාහන ක්‍රම, මාර්ග සහ ගම කාන්තාවන් සඳහා ආරක්ෂා සහිත ස්ථාන බවට පත් කෙරේ.

මතින් තොර රටක් බිහි කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ.

පංච විධ ක්‍රියාවලියේ තෙවැන්න නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලියයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වන අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම සඳහා මීළඟ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ සමඟ කටයුතු කෙරේ.

එමගින් ව්‍යවස්ථා ගැටලු නිරාකරණය කිරීමට ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත කෙරේ.

  • *ඒකීය රාජ්‍යයක් යටතේ සියලු දෙනාගේම සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමට පියවර ගැනේ.
  • *පාර්ලිමේන්තුවට වගකියන අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාත්මක කරනු ඇත. දැනට මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරන විශේෂ බලතල එසේම පවතිනු ඇත.
  • *මනාප ක්‍රමය අහෝසි කර සමානුපාතික සහ ඡන්ද කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දේ.
  • *යහපාලන ආයතන රාජ්‍ය පාලනයේ නිරතවන බලකණුව බවට පත් කෙරේ.
  • *පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම පද්ධතියක් සකස් කෙරේ.

සියලුම ආගම්වල නිදහස සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කෙරේ.

ජාතික සංහිඳියාව, නිදහස් කලාව, ක්‍රීඩාව සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නව අණ පනත් සම්මත කෙරේ.