‘හෘද සාක්ෂියේ සම්මුතිය’ එළිදැක්වෙයි

22072015 130820457306694527 sis cmyඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ වූ ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ එළිදැක්වීමේ විශේෂ මහා සමුළුව ඊයේ (22 දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 මෙම අවස්ථාවට විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ හිටපු පරිපාලන නිලධාරින් රැසක් ද සහභාගි වී සිටියහ.

සමුළුව ආරම්භ කිරීම සඳහා පහන් දැල්වීම නායක අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, හිටපු විගණකාධිපති ජාතික ලැයිස්තු අපේක්ෂක සරත්චන්ද්‍ර මායාදුන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ ‍විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, අල්හාජ් මොහොමඩ් ඉබ්‍රහීම්, ආචාර්ය සරෝජා පෝල්රාජ්, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ, ආචාර්ය කේ. එස්. චන්ද්‍රබෝස්, ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, ජිප්සීස් නායක සුනිල් පෙරේරා, සාහිත්‍යවේදී ඇන්තනි ජීවා, ප්‍රවීණ නාට්‍යවේදී චන්ද්‍රසෝම බිංදුහේවා, ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති යන මහත්ම මහත්මීන් අතින් සිදුවිය.

එයින් අනතුරුව මැතිවරණ තේමා ගීතය එළිදක්වනු ලැබූ අතර පසුව ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පිළිගැනීමේ කතාව සිදුකරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සභාව ඇමතීමට පෙර හෘද සාක්ෂියේ සම්මුතිය ජාතික වැඩපිළිවෙළ එළිදක්වනු ලැබූ අතර එම අවස්ථාව සිංහල, දමිළ සංස්කෘතික උරුමය අනුව යමින් ජයබෙර හඬ මධ්‍යයේ සිදුකිරීම විශේෂත්වයක් විය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ කතාව රට පත්ව ඇති තත්ත්වය හෙළිදරව් කිරීමක් වූ අතර එය ආකර්ෂණීය තත්ත්වයක් වුණි.

මෙම සමුළුවට සමගාමීව ආරාධිත කතා තුනක් ද පැවැති අතර එම ආරාධිත කතා පිළිවෙළින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය කේ. එස්. චන්ද්‍රබෝස්, ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුන් පවත්වන ලදී.

පක්ෂයේ නායකයන් සහ දිස්ත්‍රික් නායකයන් වේදිකාවට කැඳවීමේදී නැඟුණු ඔල්වරසන් හඬින් මුළු ගෘහස්ථ ක්‍රීඩාගාරය ගිඟුම් දෙනු ලැබීය.

එයින් අනතුරුව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමුළුව ඇමතූ අතර සමුළුව නිමාවට පත්වූයේ ජාත්‍යන්තර ගීතය ගැයුමෙනි.