වේගයෙන් දියුණු වන රටක් ලෙස විශ්‍රාම යාමේ ප්‍රතිපත්තියට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි

19072015 130817705677119296 svk cmy‘විශ්‍රාම යාම ගැන කතා කරන විට අපේ රටේ රාජ්‍ය සේවයේ අද වයස 60 න් විශ්‍රාම යනවා. හමුදා සේවාවල වයස 55 න් විශ්‍රාම යනවා. පෞද්ගලික අංශයේ ආයතනවල මේ සම්බන්ධයෙන් විවිධ තත්ත්ව, තිබෙනවා. විශ්‍රාම යාම කියන වචනය කොතෙක් දුරට පරිපූර්ණ වූ මිනිසකුගේ හැකියා. දක්ෂතා, නිර්මාණශීලීභාවය පිළිබඳව පුළුල් ලෙස ශක්තියක් ජීව ශක්තියක් තිබිය දී ගැළපෙනවද කියන කාරණාව අප විසින් අවධානයට ගත යුතු කාරණයක්’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

 ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ හොල්සිම් ලංකා සමාගමේ සභාපති අසේල ඉද්දවෙල මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් පසුගිය සිකුරාදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උපහාර උත්සවයේදීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා

‘මම ඉතාමත් සතුටු වෙනවා දිගුකලක් මම ඇසුරු කරන මගේ මිත්‍රයකුගේ මෙවැනි වැදගත් අවස්ථාවකට සහභාගීවීමට ලැබීම පිළිබදව. මේ උත්සවය පිළිබඳ ආරාධනය ලැබුණේ අසේල ඉද්දවෙල මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් පවත්වන උත්සවයක් කියලා.ඒ අනුව මම ඒ අවස්ථාවට එක්වුණා.

ලෝකයේ බොහෝ රටවල්වල තත්ත්වය මෙය නොවේ. අපේ රටේ එක් කලක දී වයස 55 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න තිබුණත් වසරින් වසර කාලය දීර්ඝ කරමින් 60 දක්වා ඒ සඳහා ලැබුණා. වැඩ කරන මිනිසා 60න් විශ්‍රාම යාමත් නොහැකියාව පෙන්වූ මිනිසා රාජ්‍ය සේවයේ 60 වෙනකන් සිටීමත් මම දකින්නේ ගැටලුවක් විදිහටයි.

පෞද්ගලික අංශයේ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් බොහෝ කලක් පුද්ගලයින්ගේ සේවය ලබා ගන්නවා වගේම ඒත් එක්ක තමන්ට නුසුදුසුයි කියලා හ‍ිතෙනවානම් වැඩ බැරි නම් අදක්ෂනම්, නොහැකියාව නම් ඒ වැඩේට ගැළපෙන්නේ නැත්නම් වයස් සීමාවක් නැතිව බොහෝ වෙලාවට තිබෙන කම්කරු නීති තුළ තනතුර වෙනස් කරනවා.

විශ්‍රාම යාම පිළිබඳ ප්‍රශ්නයේ දී යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවේ අවුරුදු 22ක් සේවය කරලා සේවයෙන් විශ්‍රාම යනවා. අවුරුදු 22ක් සේවය කරලා විශ්‍රාම යන විට ඔවුන්ගේ වයස අවුරුදු 42ක්, 43ක් වගේ වෙනවා. නමුත් ඔබ අපි කවුරුත් දන්නවා වයස 40, 42, 45, 50 වගේ කාලය තමයි මිනිසෙකුට තමන්ගේ දැනුම, අවබෝධය සහ අත්දැකීම් සමඟ වඩාත් වැඩ කිරීමට හැකියාව තිබෙන කාලය. විශේෂයෙන් දැනුමෙන් පෝෂණය වූ පරිණතභාවයත් සමඟ තිබෙන ‍ෙම් මානව සම්පත මුදා හැරීම මම දකින්නේ අපේ රටේ සංවර්ධනයට තිබෙන බරපතළ පාඩුවක් විදිහට.

සාමාන්‍ය සොල්දාදුවන් නෙවි ඉහළ ශ්‍රේණිවල වැඩකරන නිලධාරීන් ඒ විදිහට විශ්‍රාම යනවා. ඔවුන් බොහෝ දුරට උපාධිධාරීන්, විවිධ තාක්ෂණික පුහුණුව ලැබූවන්. විදේශයන්වල පුහුණුව හා පර්යේෂණවල නිරතවූවන් වයස 45 ට කළින් ගෙදර යවනවා. එක් පැත්තකින් ඔහු මුහුණ දෙනවා තමන්ගේ අත්දැකීම්, දැනුම, බුද්ධිය සමඟ එතනින් එහාට තමන්ගේ ජීවිතය ගැට ගසා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට තවත් පැත්තකින් රජයක් විදිහට පූර්ණ මිනිසෙක් හදලා හොඳින් වැඩකරන්න පුළුවන් කාලයේ වැඩ කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවේ ඔහු ගෙදර යවනවා.

මට මතකයි දැන් අවුරුදු දෙකකට විතර කලින් ප්‍රංශයේ විශාල තරුණ උද්ඝෝෂණයක් ආවා ප්‍රංශයේ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60 – 65 කිරීමේ තත්ත්වයක් එක්ක. තරුණයින් කියා සිටියා තමන්ට තිබෙන අවස්ථාව නොලැබී යනවා කියන එක. රජය කියා සිටියා වඩාත් දැනුම තිබෙන. පූර්ණත්වයට පත් මිනිසුන් වැඩ කිරීමේ හැකියාව තිබිය දී ගෙදර යවනවා කියලා.

අපේ රට‍ විදිහට ගත් විටත්, ත්‍රිවිධ හමුදාවේ, රාජ්‍ය සේවයේ මේ විශ්‍රාම යාමේ ප්‍රතිපත්ති පිළිබඳ අපි වේගයෙන් දියුණුවන රටක් විදිහට මීට වඩා සියලු අංශවල සැලකිල්ල අරගෙන ඒ සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මම දකිනවා’ යැයි ජනපතිවරයා පැවැසීය.