කලා දක්ෂතා එළි දක්වන්නට රණවිරු රියල් ස්ටාර් තෝතැන්නක් - ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

19072015 130817639915631296 sjg ගිනිඅවියක් අත දරාගෙන නිල ඇඳුමක් ඇද සිටින රණවිරුවන්ගේ කලා දක්ෂතාවන් එළි දක්වන්නට මෙන්ම එය‍ ලොවටම ඉදිරිපත් කරන්නටත් "රණවිරු රියල් ස්ටාර්" වැඩසටහන තෝතැන්නක් වු බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසූවේ රණවිරු රියල් ස්ටාර් පස්වන අදියර ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පසුගිය 17දා කොළඹ රාමඩා හෝටලයේ පැවැති මේ උත්සවය වර්ණවත් අයුරින් පැවැති අතර සංගීතය මෙහෙයවීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතා විසින් සිදු කරනු ලැබීය.

යුද හමුදාවේ රණවිරුවන් 22ක්ද, නාවික හමුදාවේ රණවිරුවන් 9ක්ද, ගුවන් හමුදාවේ රණවිරුවන් 5ක් වශයෙන් සමන්විත වු, රණවිරුවන් තිස්හය දෙනෙකු ඉදිරි තරග වට සඳහා තරඟ වැදීමට සුදුසුකම් ලබා ඇත.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ඩයලොග් ආසියාටා සමාගම විසින් ලබාදී තිබේ. තරගාවලියේ අවසාන මහා තරගය දෙසැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රණ­විරු රිය­ල්ස්ටාර් පළවන අදි­යරේ ජයග්‍රාහකයා නාවික කපි­තාන් ඩේමියන් ප්‍රනාන්දු ගී ගයමින්මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතා, එදා යුද සමයේ ත්‍රස්ත්‍රවාදීන් සමඟින් උරෙන් උර ගැටෙමින් රණවිරුවන් මානූෂීය මෙහෙයුමට ලබාදුන් දායකත්වය අපට කිසිසේත් අමතක කළ නොහැකියි.

රුදුරු ත්‍රස්ත්‍රවාදීන්ගෙන් රට බේරාගැනීමෙන් පසුව මේ අභීත රණවිරුවන් ආරක්ෂක රාජකාරිවලට අමතරව වර්තමානයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා සුවිසාල මෙහෙවරක් ඉටු කරන පිරිසක් බව අප හොඳින් දන්නා කරුණක්.

ගිනි අවියක් අත දරාගෙන නිල ඇඳුමක් අත දරා සිටින මේ රණවිරුවන්ගේ කලා දක්ෂතාවන් එළි දක්වන්නට තෝතැන්නක් වූ මේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ආරම්භවීමත් සමඟ ඒ සඳහා ඉදිරිපත්වූ පිරිස ගැන කල්පනා කරද්දී සැබවින්ම දක්ෂතාවලින් සපිරි සංවේදී මිනිසුන් බව අපට ඉතාමත් පැහැදිලියි. විජයග්‍රහණයෙන් පසුව රණවිරුවන්ගේ මානසික සංවර්ධනය ඇතිකර ගනිමින්, ඔවුන්ගේ සහජ දක්ෂතාවන් ලොවටම ඉදිරිපත් කරන්නටත්, ඔවුන්ගේ සුභසාධනය උදෙසා 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ආරම්භ කළ රණවිරු රියල් ස්ටාර් තරගාවලිය අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවලත් ජනප්‍රිය වැඩසටහනක් බවට පත්ව තිබෙනවා.

මේ තරගාවලියට ආබාධිත රණවිරුවන් ඇතුළත්වීම අපි ඉතාමත්ම අගය කළ යුතු කරුණක්. එම රණවිරුවන් යුද්ධය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ බව අපි දන්නවා. රණවිරුවන්ටත් මෙවැනි තරගාවලි තුළින් තම දක්ෂතා ඉදිරිපත් කර ඉදිරියටම යන්නට ශක්තිය හා ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

රණවිරු රියල්ස්ටාර් පළමු තරගාවලියේ නාවික කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු ද දෙවන තරගාවලියේ යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් අයෝමි පෙරේරා ද තුන්වන තරගාවලියේ ගුවන් හමුදාවේ කාන්තා සැරයන් තුෂාණි පෙරේරාත් ජයග්‍රහණයන් ලබා ගත් අතර ඔවුන්ට මිලියන විස්ස බැගින් වටිනා නිවාස ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය කටයතු කළා. ඒ වගේම රණවිරු රියල් ස්ටාර් හතරවන අදියරේ ජයග්‍රාහිකාව වුනේ යුද හමුදාවේ කපිතාන් අරුණි ද සිල්වා මහත්මියයි. එම ජයග්‍රාහිකාව වෙනුවෙන් මිලියන විස්සක් වටිනා සුපිරි නිවසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් 2015 මැයි මස මාලබේදී ලබාදීමට කටයුතු කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යංශය මඟින් මෙහෙයවන රණවිරු රියල් ස්ටාර් පස්වන අදියර මෙවරත් පැවැත්වීමට ලැබීම භාග්‍යයක් සේ අපි සලකනවා. මේ වැඩසටහනෙන් මීට පෙර පැවැති තරගවලට වඩා වෙනසක් සිදුවන බව ඔබට පැහැදිලි වනවාට කිසිම සැකයක් නැහැ. මීට පෙර වර්ෂවල පැවැති තරගාවලියෙන් දුටු දුර්වලතා අඩුපාඩු මගහරවා ගනිමින් විනිවිද භාවයකින් පස්වන අදියර ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව මට විශ්වාසයි. මේ තරගයට සුදුසුකම් ලබා ඇති තිස් හය දෙනාගේ දක්ෂතාවන් මම දැක්කා. ඇත්තටම මේ තිස් හය දෙනා සහජ දක්ෂතාවන්ගෙන් පිරිපුන් දක්ෂ පිරිසක්. මේ රණවිරුවන්ගේ අවසාන මහා තරගය දෙසැම්බර් මාසයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයතු සැලසුම් කර තිබෙනවා. රණවිරු රියල් ස්ටාර් පස්වන අදියර වැඩසටහන පැවත්වීම සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබාදුන් ඩයලොග් ආසියාටා ආයතනයටත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවටත් විවිධ අයුරින් සහාය දුන් සැම දෙනාටත් අපගේ අවංක ආදර ස්තුතිය පිරිනැමෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා -

ශ්‍රී ලංකා යුද, ගුවන්, නාවික හමුදාවන්ගේ සෙබළුන් විනාශ කළේ මිනිස් ජීවිත නොවේ. ඔවුන් විනාශ කළේ මනුෂ්‍යත්වයට එරෙහිව නැගී සිටි කුරිරු ත්‍රස්ත්‍රවාදයයි.

ඔවුන් බේරාගත්තේ මාතෘ භූමියයි, ශිෂ්ටත්වයයි, අපේ රටයි. ඒ නිසා ඒ වීරෝධාර රණවිරුවන්ට හිස නමා ආචාර කරනු හැර ඔවුන් වෙනුවෙන් අපි වෙන කුමක් කරන්නද? ඔවුන්ට ආචාර කිරීමට, ඔවුන්ට ගෞරව කිරීමට, ඔවුන්ට උපහාර පිදීමට කිසිම් මාර්ගයක් තිබේනම් ඒ හැම මාර්ගයකම මේ මාතෘ භූමිය තුළ අද ජීවත් වෙන පුරවැසියන් හැටියට අද හුස්ම ගන්නා පුරවැසියන් හැටියට අප සදා ණයගැතියි. අපි මේ එක්වී සින්දු කියන්නේ, සින්දු අහන්නේ, විනෝද වන්නේ, රූපවාහිනි බලන්නේ, චිත්‍රපටි බලන්නේ, කතා පවත්වන්නේ ඒ වීරෝධාර සෙබළුන්ගේ ඒ අපිරිමිත කැපවීම නිසයි. ඒ කැපවීමට අප සදා ණයගැතියි. ඔවුන් සටන් පෙරමුණේ සටන් කළේ වැටුපක් ලබාගැනීමට නොවෙයි. ඔවුන් සටන් පෙරමුණේ සටන් කළේ පටියක් ලබාගැනීමට නොවෙයි. ඔවුන් සටන් පෙරමුණේ සටන් කළේ තරුවක් ලබාගැනීමට නොවෙයි. ඔවුන් තමාගේ මාතෘභූමිය, අපේ රට, අපේ දේශය, අපේ දරුවන්ට ඉතිරි කර තැබීමට තමන්ගේ ජීවිත පුජා කළා. තමන්ගේ අත් පා පුජා කළා. තමාගේ ඇස්, කන්, නාස්, පුජා කළා. ඒ විරෝධාර සෙබළුන් වෙනුවෙන් අංශුමාත්‍රයකින් හෝ ජීවත්වන මිනිසුන් හැටියට අපට කිරීමට හැකිනම්, ජීවත්වන හුස්ම ගන්නා මිනිසුන් හැටියට ශ්‍රී ලංකාද්වීපය තුළ ජීවත්වන සකළ මිනිස් වාසීන්ගේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැමදෙනාගේම වගකීමයි.

සංගීතයෙන්ගීතයෙන්, සාහිත්‍යයෙන්, වියෙන්, කෙටිකතාවෙන්, සිනමාවෙන්, වේදිකාවෙන්, චිත්‍රයෙන්, මුර්තියෙන් මේ මොන දෙයින් සන්නිවේදනය කළත් කලා රස වින්දනය කියන්නේ තමාගේ සංවේදීතාව සන්නිවේදනය කිරීම. එහෙම නැත්නම් ඒ සන්නිවේදන කිසිවක් අපි වින්දනය කිරීම. ඒක තමයි කලාව කියන්නේ. මේ රට වෙනුවෙන් සටන් වැදි රට වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ වීරෝධාර සෙබළුන් මේ විදිහේ සංවේදී හැකියාවන් ඇති සංවේදී රස වින්දනයන් ඇති අපි වගේම මනුෂ්‍යයන් කොටසක්. එවන් පරිත්‍යාගශීලී උතුම් පිරිසක් වෙනුවෙන් කිසියම් උපහාරයක් දැක්වීමට අපිට ලැබෙන මේ අස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ දිවිපිදු දහසක් රණවිරුවන් දහසක් අත්පා ශරීර කොටස් අහිමි කර ගත් තමාගේ සහෝදර රණවිරුවන් වෙනුවෙන් දැනට ජීවත් වෙන අපේ සහෝදර රණ විරුවන්ගේ ඇති රසකාමි හැකියාවන් තෝරාබේරාගෙන ඔවුන් වේදිකාවකට කැඳවා ඔවුන්ගේ දස්කම් විස්කම් පිරික්සා ඔවුන්ට තෑගි බෝග දෙන එකෙන් අපි අදහස් කරන්නේ එක තරුවකට තෑගි බෝග දීමක් නොවෙයි, එක තරුවක් ජයග්‍රහණය කර තෑග්ගත් ලබනවා කියන්නේ ඒ සකල හමුදාවේම සකල රණවිරුවන්ටම කරන සංකේතවත් ප්‍රදානයක් පමණයි. ඒ සියලු දෙනාටම ගෞරවයක් හැටියට තමයි මේ මහඟු කාර්ය කරන්නේ. මේ කාර්යට ජාතික රූපවාහිනියට දායකවීම අපි සලකන්නේ මහත් ආඩම්බරයක් හැටියට.

ජාතික නාලිකාවක් හැටියට ඒමහඟු කාර්ය භාර අරගෙන මහා ඉහළින් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි රණවිරු රියල් ස්ටාර් වැඩපිළිවෙළේ නුදුටු දේවල් නුදුටු හැඩරුව මින් ඉදිරියට දැක ගැනීමට හැකිවේවි. ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. සමහර වෙලාවට ඔබට රූප පෙට්ටියෙන් පෙනෙන ඒ වගේම ඔබට රූප පෙට්ටියෙන් වෙනස්කම් පවා මේ වැඩසටහන් මාලාවේ තිබෙනවා.

විනිශ්චය මණ්ඩලයේ තිදෙනාත් සමහර වෙලාවට අපව විවේචනය කරන අපිට විරුද්ධ මතධාරීන් වුණත් විනිශ්චය මණ්ඩලයට අපි පත් කර ගත් තිදෙනා නියම සුදුස්සන් බව . නිවේදන කටයුතුවලට ඉදිරිපත්වන අපේ චමින්දත්, හිමාලි සයුරංගිත් හැර වෙනත් කෙනෙක් මේ සඳහා සුදුසුයි කියලා විරුද්ධවෙන එකක් නැහැ. සුදුස්සන් තෝරාගෙන සුදුසු තාක්ෂණය මඟින් මේ වැඩසටහන ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. මේ වැඩසටහන් මාලාවේ මේ තිස් හය දෙනාගේ සිට අවසාන මහා තරගය දක්වා තරග වට විස්සසකින් සමන්විතයි. අවසාන විසිවන තරගය මහා තරගය ලෙස දෙසැම්බර් මසයි කිරීමට අපි බලාපොරොත්තු වන්නේ. මින්පෙර සිදු වූ කිසියම් අත්වැරැදි ඇතිනම් ඒ වැරදිත් අපි නිවැරැදි කරගෙන ඊටත් වඩා ඉතා සාර්ථකව, ඊටත් වඩා විනිවිද බවකින් මේ තරග මාලාව ඉදිරියට ගෙන ඒමට, නියම සුදුස්සන් නියම ජයග්‍රාහකයන් තෝරාගෙන ඔවුන්ට ඒ සියලුම රණවිරුවන් වෙනුවෙන් සංකේතවත් කරමින් කිරුළු පැළදවීමට අප බලාපොරොත්තු වෙනවායැයි වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, රූපවාහිනී සංස්ථාවේ සභාපති, ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසුරිය මහත්වරු සහ ආරක්ෂක අංශයන්හී සාමාජික සාමාජිකාවෝ රැසක් එක්වූහ.