දිඹුලාගල නාහිමියෝ අපවත් වෙති

12072015 130811685471934527 slmපොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උතුරු නැ‍ඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ පෙරේදා (11) උදෑසන අපවත් වූහ.

මාස 4කට අධික කාලයක් රෝගාතුරව වැඩවිසූ නාහිමියෝ ආරණ්‍ය සේනාසනයේ සිය කුටිය තුළ නිදියහනේදී වැඩ සිටියදීම අපවත්වූ බව පැවසේ.

කොත්මලේ මල්දෙණිය ගම්මානයේදී 1937 අප්‍රේල් 30 දින උපත ලැබූහ.

වයස 29 දී දිඹුලාගල ආරණ්‍යසේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ උපාධ්‍යත්වයෙන් පැවිදි දිවියට පත්වූහ.

දිඹුලාගල ආරණ්‍ය, සේනාසනයේ සංවර්ධන කටයුතු වලදී “දෙවැනි හාමුදුරුවෝ නමින් හැඳින්වූ උන්වහන්සේ ගෘහ නිර්මාන ශිල්පය හා කැටයම් කර්මාන්තය පිළිබඳ හසළ දැනුමකින් කටයුතු කළේය.

දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකර ඇති අහස්මාලිගය, ධර්මශාලා ගොඩනැගිල්ල හා භාවනානුයෝගී භික්ෂූන්වහන්සේලා සඳහා නේවාසිකාගාර හා භාවනා කුටි මෙම හිමියන්ගේ සැලසුම් හා නිර්මාණ කටයුතු වේ.

1996 මැයි මාසයේ දී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු උන්වහන්සේ සේනාසනයේ අධිපති වශයෙන් කටයුතු කිරීමට පත් කෙරිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී මේ වන විට භික්ෂූන්වහන්සේලා 1500කට අධික පිරිසක් සසුන්ගත කොට තිබේ. මෙම සාසන කටයුතුවලදී සියලුම පාලන කටයුතු මෙහෙයවනු ලැබුවේද මෙම හිමියන් විසිනි. අපවත් වී වදාළ දිඹුලාගල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අනිද්දා (15) වැනි බදාදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිතය.